Tuesday, April 11, 2017

වසත් කල කොවුලාගේ දැස් අග කදුලක්


වසන්තය ඇවිදන්
කැලැන්ඩරයට කලින්
නෑ පෙනෙන මානයේ
මල් පිපෙන දවසක්

කොවුල් හඬ ඇහුනද
කොවුලෙක්ව දැක්කද
පළ නොමැති කජු ගහක
පහළ අත්තක හඬ තලන

කාටවත් නොපෙනෙන්න
කිසිවෙකුට නොහැගෙන්න
වසන්තයටත් හොරෙන්
කොවුලාගේ දෑස් අග කදුලක්

බක් මහට අඬගසන
වසත් කල කොවුලාගේ දෑස් අග කදුලක්

වීඩාබර කෙදිරියක්
පිටකරනවා හිමින්
ඇසුනාද කාටවත්
දුටුවාද කවුරු හරි
කළු පාට කොවුලෙකු
ඉකි ගසන අයුරුවත්

කිසිවෙකුට අගේ නෑ
වසත්කල කොවුලාගේ
දෑස් අග ඉතිරිවුනු කදුලක්

හිතරැගෙන පියාඹා ගෙන ගිහින්
වසත්කල මීදුමේ වසන්වුනු ඇය
මොර දීදී හොයනවා
තියාගෙන
වසත්කල කොවුලාගේ දෑස් අග කදුලක්
වසත්කල පළනොමැති කජු ගහක
පහළ අත්තක ලැග
කළු පාට කොවුලෙකු

වසන්තය ඒවී
ඔහේ දින ගතවේවි
ඒ නමුත්
වසත් කල කොවුලාගේ දෑස් අග කදුලක්


-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, April 2, 2017

හිත ගත්ත මල

නුඹට සම කල හැකි
කිසි මලෙක මේ ලොව නැති
නුඹ නොමැති මල් වතු ඇති
ලෝකෙකින් මට පල නැති

අමාවක වෙස් ගෙන සිසී
වළාකුලකුඳු වත් නැති
එකදු තරුවක් වත් නැති
ජීවිතේ හිස් අහසෙකි

රළ නොමැති මහ සයුරකී
රුවල නැති ඔරුවක් වැනී
අවර බැස යන හිරු වැනී
දිවිය අදුරෙන් ගිලගනී

දිය නොමැති රළු කතෙරකී
වැසි නොමැති දිගු වසරකී
දින ගෙවි යන්නෙත් නැතී
තත්පරෙත් කල්පය වැනී

වසන්තය ගිනිගෙන දැවී
යන බවක් හිත තුල ඇතී
තව දිනක් නුඹ ලඟ නැතී
ගෙවන්නට නම් මට බැරී

-සුනෙත් වෙඩිවර්ධන-SS

Wednesday, March 29, 2017

මුරුගසන් වරුසාව

මොරතලන අහස යටපොර බදින වළාකුළු
කළුවරට ඉකිබිඳින බිම වැටෙන වැහිබින්දු
කපුටන්ට පියඹන්න ඉඩනොදෙන සැඩ සුළන්
මුරුගසන් වරුසාව ඇද හැලෙන පෙර ලකුණු

බක්මහට අත වනන මුරුගසන් වරුසාව
වැටෙනකම් මග බලන් ඉන්නවා මහ පොළව
දුහුවිල්ල වසාගත් ගස් වලට හිනහෙන්න
ඉක්මනින් බිම වැටෙනු මුරුගසන් වරුසාව

එනු තෙමනු නිවාලනු ගිනිඋණ හැදුනු බිම
බිම වැටෙනු මහ වැහි බිදුසැනින් තෙමා ගෙන හැම
අව්වටම රත්වෙච්ච  ගොඩනැගිලි සේරම
මුරුගසන් වරුසාව වසිනු මැන දැන්මම

රත්වෙච්ච මනසින්
ගෙදරයන මිනිසුන්
තෙමෙනකම් මුරුගසන් වරුසාව වැහැපන්

ගිනිගත්න තරමටම
රත් වෙච්ච එන්ජින්
සිසිල් වෙනකම් මුරුගසන් වරුසාව වැහැපන්

වැසි නැතුව ඇල් මැරුනු
ගඳ ගහන ඇලවල්
සුවඳ වෙනකම් මුරුගසන් වරුසාව වැහැපන්

රැයම ගිලගන්න අද මුරුගසන් වරුසාව
හෙට උදේ හිරු සමග පායන්න හිත් ඇතිව
දුහුවිල්ල වසාගත් මහපොලව සේදෙන්න
අද රෑම වැහැපන් මුරුගසන් වරුසාව

සුනෙත් වෙඩිවර්ධන

Sunday, January 29, 2017

තවත් එක කවියක්

කාලෙකින් ලිව්වේ නැහැ නොවැ මන් කවියක්
තාමත් නෑ හිතේ කවියකට අදහසක්.
අළුතින් ගත්ත ලැප් එකේ
සිනිදුවට එබෙන යතුරු මත
ඇගිලි දුව දුවා වෙහෙසෙන තරමක්
හිතේ නෑ අදහසක්
ගලපන්න කවියක්.
කුරු කරු සද්දේ
ෆැන්එකෙනුත් නෑ කිසිම සප් එකක්
කාමරේ නෑ කිසිම හුලගක්
ගියා එලියට
නෑනේ අපේ වත්තේවත් හුලං
මොනවා කරන්නද
ආයෙමත් ඇතුලට .
ලියනවා කවියක්
අන්තිමේ මේක මහ පිස්සුවක්
නෑ කිසිම තේරුමක්.
හැබැයි මේකත් එක්තරා කවියක් .
ලොල්.
-සුනෙත් වෙඩිවර්ධන-

Saturday, January 14, 2017

පායයිද පුර හඳ

දුරුතු රෑයකදි නවම් පුර හඳ
තරුත් සමගින් ලොකු කතාවක
ස්වේත මීදුම් සොරාගත් වලාකුල.
වසන් කරනවා ලොවට ඒ බව

නිකිණී දහවල් පායලා සඳ
තවම සැගවී වළාගැබ තුල
දුරුත්තත් මැද ගෙවෙන්නේ අද
තවම තරු හා කතාවද නුඹ

දුරුතු පෝයත් ගෙවී ගොස් ඇත
තවම අදුරුයි දහවලත් එක්කම
පායයිද ලෝකයම එළිකර
නවම් පෝයට කලීන් පුරහඳ

-සුනෙත් වෙඩිවර්ධන - SS -

Sunday, December 11, 2016

සුදු කළුවරින් කළු කළුවරට (කදුකරයෙන් කොළඹට)

සදේ උඹ තවටිකක්
අහසේම  ඉඳපන්.
සුදු පාට කළුවරට
පේන්නෑ මොකවත්

උඳුවප් සුදු සේල
වෙලාගෙන හතරඅත
කළුවරත් කළු නෙමෙයි
පේන්නේ සුදු පාට

සිරි සිරි හඬින් බිමට
වැටෙන පොද පින්න කැට
දෙවෙනි ඇස් දෙක නැතිව
යන්න මඟ කියනවද?

හඳට ලම්භකව තව
හඳවල්ම හතරක්
සුදු සේල අතරින්
ඇස් වලට නුදුරින්

අත දමා සමුදෙන්න
සුදුපාට කළුවරට
කළු පාට කළුවරට
යන මඟට ගොඩවෙන්න

සදේ උඹ තව ටිකක්
අහසේම ඉදපන්
කළු පාට කළුවරෙත්
පේන්නෑ මොකවත්

-සුනෙත් වෙඩිවර්ධන-

Thursday, November 3, 2016

අමර හඬ

සත් ස්වරය සත්කඩක
වෙලා විසිරිලා ඇත
ස්වර ලොව පුරා හද
සැඟවිලා වළාවක

හාර්මොනිය තබ්ලාව
වී නිහඩ පැත්තකය
වියෝලය සිතාරය
පවා හඩනවා අද

පුරාතන කවියන්ද
මළානික නෙත් ඇතිව
බලා බිම සිත් ගැතිව
පිසිනවා කඳුළු කැට

හෙළ මහා ගන්ධර්ව
පියා නෙත් පියාගෙන
ස්වර අතර රැදුනු හඬ
අමර ස්වර නිහඩ විය

නිවන් මඟ දකින තුරු
සසර මඟපුරාවට
හෙළ දෙරණ රුවන් හඩ
ඇසේවා මේ දෙරණ මත්තෙම


-සුනෙත් වෙඩිවර්ධන-