Tuesday, June 6, 2017

නුඹට පිටුපෑ නුඹේ හද

නුඹේ හද කළු වළාවකි මට
හමා යනමුත් වැස්ස නොවසින
මුවා කර මම ඇළුම් කළ හඳ
අදුරුකල විජිතයම එක්වර

නුඹේ හද සැඩ රැල්ලක්ය මට
නිසල සයුරත් සසල කරවන
හිරුට පෙම්බැදි ක්ෂිතිජ ඉම මත
හබල් බිඳලා ඔරුව පෙරලුව

නුමේ හද රළු කතරක්ය මට
වැළි පිරුණ කදු පිරී ඉතිරුණ
අතර මැද මිරිගුවක සිරකර
ඔටුවෙක්ව වැලි වලට යටකල

නුඹේ හද දියකඩකි මඩ වුණු
නිවාගත හැකි නොවෙන පවසක
දිය පිටක ඇදි ඉරක සේ මම
මැකී යමි නුඹ දියෙහි මතුපිට

-සුනෙත් වෙඩිවර්ධන-
-ආදරේ කියන්නේ නොහික්මුණ කලාවක්-

Thursday, May 25, 2017

එකෝමත් කාලයක

එකෝමත් කාලයක
පෙම්කලා මමත්

කිසිදිනක නෙත් නුදුටු
අදෘෂ්‍යමානී ප්‍රේමයක්
ස්පර්ශයකදු නොවුනු
අතාත්වික ප්‍රේමයක්

නමක් නැති පණක් නැති
අර්ථයක්වත් නැති
ඔහේ මියදුනු ප්‍රේමයක්

පටන් ගත් දිනක් නැති
පෙම් කරපු කෙනෙක් නැති
සෑබෑවක් නොවු ප්‍රේමයක්

අරුමයකි
පුදුමයකි
නොපැවතුන හිතකට
පෙම්කලා මමත්
එකෝමත් කාලයක

-සුනෙත් වෙඩිවර්ධන-

Saturday, May 13, 2017

නුඹට පමණයි

නුඹේ කෙහෙරැලි සැලෙන සුළඟට
කිව්වා මම රහසක්
නුඹට විතරක්ම
කියන්නට කියලා

සේපාලිකා මලේ
නටුවේ පාටින්
කවියක්
රෑ කුමාරි
මලක පෙත්තක
ලියා ඇති කියලා

වක පහලොවක් තරිඳු පිරුනම
තාරකා නිල් එලිය දෙන විට
වලාකුලකුදු අහසේ නොරැදී
මී දුමෙන් නුඹ වසාගත්කල
පිපේවි කඩුපුල් මලක්
ඉදිරියේ නුඹ දෑස් අද්දර

පිනි වැටුනු
කඩුපුල් පෙති මතින්
මැවෙන දිය කැඩපත තුලින්
නුඹට හොරැහින් නුඹේ පෙත්තක
සේපාලිකා මලේ නටුවේ පාටින්
ලියු කවියක් නුඹ දකීවී.
නුඹට සිත ඇති ප්‍රේම සිතකින්
ආදරේ ගැන ලියු

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, May 9, 2017

ආදරේ කියන්නේ නොහික්මුණු කළාවක්

ඇත්තටම
ආදරේ කියන්නේ
නොහික්මුණු කළාවක්

හිතෙනවද
ජීවිතේ නැවතුනා කියලා
හැඟෙනවද
සවන් අග පවන් හඬ පිරිලා
තෙමෙනවද
දෙනෙත් කොන් කදුළු බර වීලා
දැනෙනවද
ආදරේ හිත් කොනක ඉදලා

නොදැනීම යෙදෙන
ආදරේ කියන්නේ
ඇබ්බැහි වෙන
සුරාවක්

නොහික්මුණු කලාවක්

මහ මුලාවක්
කරන්නත් නෑ වෙලාවක්
සමබරව ජීවිතේ රැගෙනයන
තුලාවක්
ආදරේ කියන්නේ නොහික්මුණු
කළාවක්

කපුරු මල් පෙති සිඹින
බඹරු දක්නා සිහිනයක්

ගඟන දේදුනු පාට ගන්වන
මල්තුහින හිම මහී සරසන
හිතින් අඳිනා චිත්‍රයක්

ස්වර නැති තාල නැති
පදපේලි උවමනාවක් නැති
ලවන් මුමුණන ගීතයක්

තුන්ලොවම කරන තුන්සිතට දැනෙන
ආදරේ කියන්නේ
නොහික්මුණු කළාවක්

චිත්‍රපටිවල දසුන් තල මත මැවෙන මිරිගුවක්
උඩු හිතට හොරැහින්
යටිහිතට එපිටින්
මොකටවත් අයිති නැති හිත
හිතන හිතළුවක්

නොනිදාම පහන් වෙන රෑක
ඇහැරගෙන
දකින නෙත්කළු සිහිනයක්
දැමුණු සිත් නොහික්මණ
පෙලන රිද්දන
ආදරේ කියන්නෙ
නොහික්මුණු කළාවක්

ආදරේ කියන්නෙ නොහික්මුණු කළාවක්
පහලවෙන වෙලාවක්
නිච්චියට
කවුරුත්ම දන්නැති

-සුනෙත් වෙඩිවර්ධන-

Saturday, May 6, 2017

ලියා අවසන් නොකල කවියක්

ලියා අවසන් නොකල කවියක්
පිටු අතර ඇති බවක්
කිසිවෙකුත් නොදත් මුත්
දනී නුඹ සහ මමත්
ලියා අවසන් නොකල කවියක්
පිටු අතර ඇති බවක්

සමකලා නුඹ රෝස මලකට
නමුත් කටු පමණක්ය
ඉතිරි වූ මට‍
සිතැගි නෙත්සර දෙව්දුවය නුඹ
නෙත්සරින් හිත සුනු විසුනු කල

මුහුදු පත්ලේ බෙල්ලෙකුට හිමි
මුතුවකට උපමා කලා නුඹ මම
නුඹට ලිව් කවි  මුහුදු බත් වී
දිරාපත් වන අයුරු දුටුවද

පළුදු වුනු හදවතින් නික්මෙන
සුසුම් තාලෙට බැදුනු කවියක්
පදපේලි නොගැලපෙන නුමුදු නුඹ
හිතේ ලියවුනු හොදම කවියක්

අමතකව ගොස් තවම නොලියු
ලියා අවසන් නොකල කවියක්
අවසනට පෙර නික්මගිය නුඹ
ලියා අවසන් නොකල කවියක්

-සුනෙත් වෙඩිවර්ධන-

Thursday, April 27, 2017

මගේ අවමගුල


මට ඇහෙනවා
මගුල් බෙර නාදය
මගේ අවමගුලෙදි

පාවඩ මතින්
වඩම්මා
කොටස් කල
මගේ මළ කඳ
පූර්ණ අවසන් ගෞරව මැද

පින් කර ඇත්තෙමිද කෙතරම්
මේ තරම් ගෞරවද සමඟ
අස්ථීයකුදු පොළවට බරක් නොවෙන කොට.

මගුල් බෙර වයන
මගේ අවමගුල

භූමදානය
පැමිනෙන්නවුන්ගේ
කුස තුලය

කොටස් කර පුළුස්සා
මා බුදින
මගේ අවමගුල

මගේ අවමගුල
කෑම මේසයක් මත
සිදුකෙරෙන
මගේ අවමගුල

-සුනෙත් වෙඩිවර්ධන-

Friday, April 21, 2017

ණයට හීනයක් දෙනවද


හීනවලින් ඔයා දකින
ණයට හිනයක් දෙනවද
බලලා ඉවරවෙලා ආයේ
ගෙනවිත් දෙන්නම්

බලලා බලලා බලලා බලලා
හීන ඉවර වෙලා මගේ
දකින්න තව හීන නැතුව
ලතවෙනවා මං

නින්ද එන්නේ නෑනේ රෑට
හිත ඇතුලේ ඔයා නිදිද
මගේ හීන සේරම ටික
ඔයා ලඟද දැන්

ආයේ ආයේ එකම හිනේ
වත් පේනනෙ නැති වුනාම
මන් බැලුවා මොකද කියලා
හීන හොරු අරන්

හැමදාමත් බලපු හීන
තිබුනත් මට වැඩක් නෑනේ
ඒවත් සේරම අරගෙන
යන්න මගේ හිතින්

ඒවුනාට මන් කැමතියි
හැමදාමත් මට දකින්න
එකම හීනයක් විතරක්
දීලා යනවනම්

ඒ හිනෙත් ඔයා දකින
හීන වලින් එකක් මිසෙක
මගේ හීන ආයේ එපා
තිත්තයි මට දැන්

ඇයිද ඉතින් ඒ සේරම
දකිනව විතරයිමනේ මම
එකම හීනයක් නෑ තව
සෑබෑ වෙලානම්

අනේ ඉතින් ඒ නිසාම
ණයට හීනයක් දෙනවද
රෑ තිස්සේම මට බලන්න
හෙට ඇහැරෙනකම්

හැබැයි ඉතින් ඒ හීනෙත්
ඔයාම විතරක්ම ඉන්න
පාට එකක් වෙන්න ඕනේ
මට බලන්න නම්

ඔයාම විතරක්ම ඉන්න
එකම හීනයක් දෙනවද
හැමදාමත් ඒ හීනෙම
බල බල ඉන්නම්

අනේ ඉතින් ඒ හිනෙත්
හීනයක් ම නොවී ඉතින්
ඔයා ඉන්න නිසාමවත්
සැබෑ වෙනවනම්

හීන දකින් නැතුව මටත්
නිදියන්නට ඇහැක් වේවි
මගේ හීනේ වෙච්ච ඔයා
මගේ වෙනවනම්.

-සුනෙත් වෙඩිවර්ධන-