Sunday, October 1, 2017

ඒ මලුත් මල් තමයි

ඒ මලුත් මල් තමයි
ඒ හිතුත් හරි පොඩියි
කාටවත් වටින්නැති
පරවෙන්න දින ගනින
ඒ මලුත් මල් තමයි

වේලිලා කරවෙලා
රැළි වැටුනු මල් පෙති
 වෙර අරන් දිගහැරන්
හීනාවෙන
හැකිලාලා ඇඹරිලා
පරවෙන්න ලංවෙච්ච
ඒ මලුත් මල් තමයි

කරදයි රැකගන්න අමාරුයි
උගුලන්න ගලවන්න
වල් පැලෑටිත් නෙමෙයි
පරවෙන්න ලංවුනත්
ඒ මලුත් මල් තමයි

හිතන්නෙත් පතන්නෙත්
අළුත් මල් වගේමයි
තේරුමක් බේරුමක්
කරගන්න අමාරුයි
ඒතරම් ජීවිතේ
කිසිකෙනෙක් දන්නේ නැති
ඒ මලුත් මල් තමයි
කාටවත් අල්ලන්න හිතෙන්නැති
මල් කියලා කාටවත් පේන්නැති
පරවෙලා වැටෙනකම්
කිසිම අගයක් නැති
ඒ මලුත් මල් තමයි

-සුනෙත් වෙඩිවර්ධන-

Saturday, September 30, 2017

වළාකුළු හැරයන්න නිල්අහස

වළාකුළු හැරයන්න නිල්අහස
තනිකරම හිස්කම
පමණක්ම ඉතිරිකර
වැහිලිහිණියෙකුට
හුදකලාවේ තනිවෙන්න
රික්තයේ තටු සලා පියඹන්න
වළාකුළු හැරයන්න නිල්අහස

ගිණි පිඹින හිරු ලඟට ලංවෙන්න
ගිනියම්ම දැල්ලකට පිච්චිලා අළුවෙන්න
අනන්තය තෙක් ඔහෙ පියඹන්න
වළාකුළු හැරයන්න නිල් අහස

හද පැලී මියයන්න
ඉස්සරින් රික්තයට ලංවෙන්න ඉඩදෙන්න
හැඟීමක් දැනීමක් කිසිදෙයක් නැති
හිස්කමට හැකිවේවි සැනසීම වත් දෙන්න
ඉඩදෙන්න වළාකුළු
හැරයන්න නිල්අහස
රික්තයේ තටුසලා පියඹන්න
තනිවෙච්ච වැහිළිහිණියෙකුට
හුදකලාවේ තනිවෙන්න.

-සුනෙත් වෙඩිවර්ධන-

Monday, September 25, 2017

මන් දැක්කා ඒක

මන් දැක්කා ඒක
මේ ලෝකේ මන් දැක්ක
ලස්සනම මූණ
මේ ලෝකේ තියෙන
විශාලම හදවත
මිනිහෙක්ට ලැබෙන
ලොව ලොකුම සෙනෙහස.
මන් දැක්කා ඒක
මට පෙනුනා ඒක

මන් දැක්කා ඒක
හිනා වෙන ඒ ඇස් දෙක
කිසිදිනක ඉවරයක් වෙන්නෙ නැති දන්සල
තරුණයෙක් නොවුනත් තරුණ ඒ හදවත
ඇති දෙයක් නැති වුනත් සතුටු වෙන මිනිහව

මැවි මැවී පෙනුනා

මන් දැක්කා ඒක
හදමඩල පායපු
අම්මගේ මූණ

මන් දැක්කා ඒක
හඳවගේ දිලිසෙන
තාත්තගේ මූණ

මගේ හිත හිනාවෙන අද වගේ දවසක
මන් දැක්කා ඒක

-සුනෙත් වෙඩිවර්ධන-

Wednesday, September 20, 2017

නෙත් කවන එක් අදුරු මතකයක්

ගෙවා ආ මග ගව් ගනන්  දුර
මතක සලකුණු අතර හිරවුන
එකම එක මතකයක් පමණක්
හිතට කරදර කරනවා
නහරවල ලේ කැටි ගැහී
පිට කෙරෙන දිගු සුසුමන් මතින්
දුක් විදින පෙනහළු හිස් වෙමින්
හිත නතර වුණ සේ දැනෙනවා
කුණාටුවකට මඟ කියන
කළු වලාකුළු පොර කමින්
පිටකරන හඬ මැද සැඩ වෙමින්
දළ රළ නගන
මහමුහුද ඇස් මත මැවෙනවා
නිහඬ කම හිස් කමින් ගිලගත්
නිහඬ සිතුවිලි මනස බිලිගත්
මොහොතකදි හිත මැරෙනවා

නින්දකට අත වනන ඇහි පිය
අඩවන්ව කල් කිරනවා
මතකයට ඉඩ ලැබෙන හිත මත
සිහිනයට දොර ඇරෙනවා
සිහින අතරේ සැරි සරන හිත
සිහින මාලිග තනනවා
සිහින දැකලම රිදෙන ඇස් අග
කදුලු පියගැට තනනවා

නියං සායෙට ඉරිතැලී ගිය
දිය සීදී ගිය ගස් මැරී ගිය
පොලව මත නිරුවත්ව
ගිණි පිඹින රිවි රැසින්
පිලිස්සී මියයන්න හිතෙනවා
මතක පොත මත කළු අදුරු පිටුවක
පැහැදිලිව අදුරින්ම ලියවුන
දුක හිතෙන මතකයක්
හැමදාම හැම මොහොතකම
හිස් පිටුව පමණක් ඉතිරිවෙන තුරු
මතක මනසින් මකනවා
ආයෙමත් කිසිවෙක් විසින්
මතක පොත් පිටු පෙරලමින්
හිස් වෙච්ච පිටුවක් පුරා
මැකූ මතකය ලියනවා
ආයෙමත් හිත මැරෙනවා.

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, September 19, 2017

නුඹ

මුල් මැරුණු මල් හැලුනු
දිරාගිය මල් ගහකි
එකම එක කොලයක් අහම්බෙන් ඉතිරිවුනු
එයට අපි ආදරේ යැයි නම තියමු.

මඟ හැරුනු අත හැරුනු
සින්තටික් සිහිනයකි
හදවතේ කොනක හැමදාම තිබුනු
කිසි දිනක නරඹන්න නොලැබුනු
ඒකටත් ආදරේ යැයි කියමු

දඟකැවෙන කැරකැවෙන
බඹරයකි රෝදයකි
යළි යළිත් එකම තැන හිරවුනු
අහිමිකම පමණක්ම හිමිවුණු
එයට අපි ජීවිතේ යැයි කියමු

ආදරේ නැතුව ආදරේ එක්ක
ගෙවීයන ජීවිතේ
වරහනක් තුළ තිබෙන
අහිංසක සතුට
එයට මම නුඹ යැයි කියමි

-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, September 17, 2017

ලැට් එකේ බෙල්ලෙක්

ලැට් එකේ බෙල්ලෙක්
දාර ගොළු බෙල්ලෙක්

"බාත් රූම්"
"වොෂ් රූම්"
"කොමඩ්"
පොෂ් එවුන් යන තැන
මන් යන්නේ නානකාමරේ
ඇතුලේ තියෙන ලැට් එකට
සිංහලෙන් "වැසිකිලිය"

දැන් තියෙන ප්‍රශ්නේ
“ගොළු බෙල්ලා“ කොහොමද ආවේ

අම්මා හැමදාම
හෝදනවා පොලව
ටයිල් කැට දිලිසෙනවා
ලයිසෝල් හින්දම
සැම්පො බෝතල් බදු අරන් සින්ක් එක
බිත්තියේ ටැප් එක
තමයි හැමදේටම

“ ප්ලෂර් එක “
සිංහලෙන් කියන නම දන්නේ නෑ මම
ඒකේ පැත්තෙන් එල්ලෙනවා ලනුවක්
ඒක ඇද්දාහම හේදෙනවා ලැට් කට
ගොළු බෙල්ලා ඉන්නේ
ඒකෙන් වතුර යන බටේ උඩ
දියසෙවල කාලම ලොකු වෙලා හොදටම
තඩි ගොළු බෙල්ලෙක්
සර්පිලාකාර ඔළුවක්
සෙවල පිරිච්ච ඇඟක්
හැම ගොළු බෙල්ලටම
තියෙන ජාතියේ
ටිකක් ලොකු කටුවක්
ඔව් ඉතින් ඌත් ගොළු බෙල්ලෙක්

ඕක දැක්කහම
දුවන් ඇවිදින් ගෙට
කෑගහලා කිව්වා
"අම්මා"  අපේ ලැට් එකේ “බෙල්ලෙක්“
“මොකද මෝඩයෝ කෑ ගහන්නේ “
මන් ආසම වචන සැට් එක

අම්මා වෙන කතාවක
බෙල්ලා ඔහෙ හිටියා තව
පහුවෙනිදා උදයෙම බෙල්ලා හිටියා බිම
ඇගිලි දෙකකින් කටුව අල්ලන්
ගිහින් දැම්මා මිරිස් පාත්තිය පැත්තට
දැන් එතන තවත් ගොළු බෙල්ලෙක්
ඈතින් ඇහෙනවා

"මොකක්ද මෝඩයෝ ඒ කරපු වැඩේ.."
අවුලක් නෑනේ
මොකද දැන් නෑ
අපේ ලැට් එකේ බෙල්ලෙක්
හැබැයි
මිරිස් පාත්තියෙ තවත් ගොළු බෙල්ලෙක්

-සුනෙත් වෙඩිවර්ධන-

Thursday, September 14, 2017

ගෑණු නේ


රන්වන් රහැටි කෙහෙරැලි
මන් මත් කෙරෙන හසරුලි
වල් මත් කෙරෙන හැසිරිලි
දනිමි මම ගැහැනුන්ගේ සිතුවිලි

ගාගෙන පාන් කෑහිකි
බටර් පෙට්ටිය එන හැටි
නොදත් එවුන්ගේ ගෙදර ගොම් මැටි
ගාලා ඉදිකල බවක් පෙන්නති

ඉඟි බිගි පාලා මුව මදහාස පෙන්වාලා
දස රඟපාලා පැණී ගී කොට මුමුනාලා
ඇඟ අත ගාලා සිතුවිලි මන පුරවාලා
වැඩ කරගන්නෙ උන් පිරිමින් රවටාලා

උන් ලග තියෙන කැටයම් ඇම්බැක්කෙත් නෑ
රන් රස පාන තරමට රොන් ඇත්තෙත් නෑ
රඟපෑවට කොයිතරමක් රැවටෙන් නෑ
එලියට පේන ලස්සන ඇග ඇතුලේ නෑ

රෙදි උස්සාගෙන එන හැටි
පේනවා ඉතින් මැවි මැවි
ඇත්තට ඉතින් මේ ගෑනුන්ගේ හැටි
කේන්ති ගන්නේ ඇයි ඉතින් ඔය හැටි

-සුනෙත් වෙඩිවර්ධන-