Wednesday, March 29, 2017

මුරුගසන් වරුසාව

මොරතලන අහස යටපොර බදින වළාකුළු
කළුවරට ඉකිබිඳින බිම වැටෙන වැහිබින්දු
කපුටන්ට පියඹන්න ඉඩනොදෙන සැඩ සුළන්
මුරුගසන් වරුසාව ඇද හැලෙන පෙර ලකුණු

බක්මහට අත වනන මුරුගසන් වරුසාව
වැටෙනකම් මග බලන් ඉන්නවා මහ පොළව
දුහුවිල්ල වසාගත් ගස් වලට හිනහෙන්න
ඉක්මනින් බිම වැටෙනු මුරුගසන් වරුසාව

එනු තෙමනු නිවාලනු ගිනිඋණ හැදුනු බිම
බිම වැටෙනු මහ වැහි බිදුසැනින් තෙමා ගෙන හැම
අව්වටම රත්වෙච්ච  ගොඩනැගිලි සේරම
මුරුගසන් වරුසාව වසිනු මැන දැන්මම

රත්වෙච්ච මනසින්
ගෙදරයන මිනිසුන්
තෙමෙනකම් මුරුගසන් වරුසාව වැහැපන්

ගිනිගත්න තරමටම
රත් වෙච්ච එන්ජින්
සිසිල් වෙනකම් මුරුගසන් වරුසාව වැහැපන්

වැසි නැතුව ඇල් මැරුනු
ගඳ ගහන ඇලවල්
සුවඳ වෙනකම් මුරුගසන් වරුසාව වැහැපන්

රැයම ගිලගන්න අද මුරුගසන් වරුසාව
හෙට උදේ හිරු සමග පායන්න හිත් ඇතිව
දුහුවිල්ල වසාගත් මහපොලව සේදෙන්න
අද රෑම වැහැපන් මුරුගසන් වරුසාව

සුනෙත් වෙඩිවර්ධන

Sunday, January 29, 2017

තවත් එක කවියක්

කාලෙකින් ලිව්වේ නැහැ නොවැ මන් කවියක්
තාමත් නෑ හිතේ කවියකට අදහසක්.
අළුතින් ගත්ත ලැප් එකේ
සිනිදුවට එබෙන යතුරු මත
ඇගිලි දුව දුවා වෙහෙසෙන තරමක්
හිතේ නෑ අදහසක්
ගලපන්න කවියක්.
කුරු කරු සද්දේ
ෆැන්එකෙනුත් නෑ කිසිම සප් එකක්
කාමරේ නෑ කිසිම හුලගක්
ගියා එලියට
නෑනේ අපේ වත්තේවත් හුලං
මොනවා කරන්නද
ආයෙමත් ඇතුලට .
ලියනවා කවියක්
අන්තිමේ මේක මහ පිස්සුවක්
නෑ කිසිම තේරුමක්.
හැබැයි මේකත් එක්තරා කවියක් .
ලොල්.
-සුනෙත් වෙඩිවර්ධන-

Saturday, January 14, 2017

පායයිද පුර හඳ

දුරුතු රෑයකදි නවම් පුර හඳ
තරුත් සමගින් ලොකු කතාවක
ස්වේත මීදුම් සොරාගත් වලාකුල.
වසන් කරනවා ලොවට ඒ බව

නිකිණී දහවල් පායලා සඳ
තවම සැගවී වළාගැබ තුල
දුරුත්තත් මැද ගෙවෙන්නේ අද
තවම තරු හා කතාවද නුඹ

දුරුතු පෝයත් ගෙවී ගොස් ඇත
තවම අදුරුයි දහවලත් එක්කම
පායයිද ලෝකයම එළිකර
නවම් පෝයට කලීන් පුරහඳ

-සුනෙත් වෙඩිවර්ධන - SS -

Sunday, December 11, 2016

සුදු කළුවරින් කළු කළුවරට (කදුකරයෙන් කොළඹට)

සදේ උඹ තවටිකක්
අහසේම  ඉඳපන්.
සුදු පාට කළුවරට
පේන්නෑ මොකවත්

උඳුවප් සුදු සේල
වෙලාගෙන හතරඅත
කළුවරත් කළු නෙමෙයි
පේන්නේ සුදු පාට

සිරි සිරි හඬින් බිමට
වැටෙන පොද පින්න කැට
දෙවෙනි ඇස් දෙක නැතිව
යන්න මඟ කියනවද?

හඳට ලම්භකව තව
හඳවල්ම හතරක්
සුදු සේල අතරින්
ඇස් වලට නුදුරින්

අත දමා සමුදෙන්න
සුදුපාට කළුවරට
කළු පාට කළුවරට
යන මඟට ගොඩවෙන්න

සදේ උඹ තව ටිකක්
අහසේම ඉදපන්
කළු පාට කළුවරෙත්
පේන්නෑ මොකවත්

-සුනෙත් වෙඩිවර්ධන-

Thursday, November 3, 2016

අමර හඬ

සත් ස්වරය සත්කඩක
වෙලා විසිරිලා ඇත
ස්වර ලොව පුරා හද
සැඟවිලා වළාවක

හාර්මොනිය තබ්ලාව
වී නිහඩ පැත්තකය
වියෝලය සිතාරය
පවා හඩනවා අද

පුරාතන කවියන්ද
මළානික නෙත් ඇතිව
බලා බිම සිත් ගැතිව
පිසිනවා කඳුළු කැට

හෙළ මහා ගන්ධර්ව
පියා නෙත් පියාගෙන
ස්වර අතර රැදුනු හඬ
අමර ස්වර නිහඩ විය

නිවන් මඟ දකින තුරු
සසර මඟපුරාවට
හෙළ දෙරණ රුවන් හඩ
ඇසේවා මේ දෙරණ මත්තෙම


-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, October 23, 2016

ගං ඉවුරද මුහුදු වෙරළද ?



දියඹට විසිරෙණා පෙණ කැටි
බට ගැට ගැසු පහුරේ හැපී
පල්ලමට දිය සැඩ වෙවි.
ඔහේ ගඟ පහලට යතී

ඉතින් මම පහුරේ නැගි
ගෙවු දුෂ්කර ගමනකී.
ඉදින් දැන් හොදටම ඇති.
පහුරු පැත්තක තැබුවැකී

දියඹ දැන් මගෙ මිතුරෙකි
ඉදිරිය යන්නට දිරි දෙතී
දිය ඇල්ල කින් බිම වැටී
තවම මම දිය මත සිටී

ගඟ ඔහේ ගලනා සැටී
නමුත් තව සැඩ නම් වැඩී
පල්ලමට වැටුනට මදී
සැඩ පහර පහුරට වැඩී

පල්ලමට පසු නිසැකවම
ඇල්ලකින් කෙල වර වෙයිද?
නැතොත් ගඟ පහුරත් සමඟ
මුහුදටම මා ගෙන යයිද ?

චන්ඩ මාරුත කුනාටූ
සයුර හිමිකම් කියාපු
හැකිවේද දිවි සුරකිනූ
පහුරකට බට ගැට ගැසු

ගඟද මුහුදද දෙකකම එකමය
මොකේ හිටියත් උරුම මරණය
ගොඩ වෙන්න හොද ගඟේ ඉවුරද?
එහෙම නැත්තං මුහුදු වෙරළද ?

-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, July 24, 2016

මාතෘකාව නුඹ

ආදරිය නුඹ
ආදරේ නැතුවාට මට
ආදරෙයි මම
නුඹට හැමදාකම

හිතුවාට නුඹ ඔහු ගැන
හිතනවා මම නුඹ ගැන
රෑ පිපුණු කඩුපුල් මල
අයිතිය නුඹේ කාටද?

නොනිදාම රෑතුන් යම
ඔහු ගැනම නුඹ හිතුවට.
ඊටත් වඩා නුඹ ගැන
මන් මෙහෙ හිතනව අද

තාම හිත සසලයි නුඹේ
මගේ පෙම අචලයි මෙහේ.
තවම කිම කිවමැන නගේ
නොහැගුනේ මගේ ආදරේ?

-නිරංජන වෙඩිවර්ධන-