Wednesday, March 29, 2017

මුරුගසන් වරුසාව

මොරතලන අහස යටපොර බදින වළාකුළු
කළුවරට ඉකිබිඳින බිම වැටෙන වැහිබින්දු
කපුටන්ට පියඹන්න ඉඩනොදෙන සැඩ සුළන්
මුරුගසන් වරුසාව ඇද හැලෙන පෙර ලකුණු

බක්මහට අත වනන මුරුගසන් වරුසාව
වැටෙනකම් මග බලන් ඉන්නවා මහ පොළව
දුහුවිල්ල වසාගත් ගස් වලට හිනහෙන්න
ඉක්මනින් බිම වැටෙනු මුරුගසන් වරුසාව

එනු තෙමනු නිවාලනු ගිනිඋණ හැදුනු බිම
බිම වැටෙනු මහ වැහි බිදුසැනින් තෙමා ගෙන හැම
අව්වටම රත්වෙච්ච  ගොඩනැගිලි සේරම
මුරුගසන් වරුසාව වසිනු මැන දැන්මම

රත්වෙච්ච මනසින්
ගෙදරයන මිනිසුන්
තෙමෙනකම් මුරුගසන් වරුසාව වැහැපන්

ගිනිගත්න තරමටම
රත් වෙච්ච එන්ජින්
සිසිල් වෙනකම් මුරුගසන් වරුසාව වැහැපන්

වැසි නැතුව ඇල් මැරුනු
ගඳ ගහන ඇලවල්
සුවඳ වෙනකම් මුරුගසන් වරුසාව වැහැපන්

රැයම ගිලගන්න අද මුරුගසන් වරුසාව
හෙට උදේ හිරු සමග පායන්න හිත් ඇතිව
දුහුවිල්ල වසාගත් මහපොලව සේදෙන්න
අද රෑම වැහැපන් මුරුගසන් වරුසාව

සුනෙත් වෙඩිවර්ධන