Thursday, April 27, 2017

මගේ අවමගුල

මට ඇහෙනවා
මගුල් බෙර නාදය
මගේ අවමගුලෙදි

පාවඩ මතින්
වඩම්මා
කොටස් කල
මගේ මළ කඳ
පූර්ණ අවසන් ගෞරව මැද

පින් කර ඇත්තෙමිද කෙතරම්
මේ තරම් ගෞරවද සමඟ
අස්ථීයකුදු පොළවට බරක් නොවෙන කොට.

මගුල් බෙර වයන
මගේ අවමගුල

භූමදානය
පැමිනෙන්නවුන්ගේ
කුස තුලය

කොටස් කර පුළුස්සා
මා බුදින
මගේ අවමගුල

මගේ අවමගුල
කෑම මේසයක් මත
සිදුකෙරෙන
මගේ අවමගුල

-සුනෙත් වෙඩිවර්ධන-

Friday, April 21, 2017

ණයට හීනයක් දෙනවද


හීනවලින් ඔයා දකින
ණයට හිනයක් දෙනවද
බලලා ඉවරවෙලා ආයේ
ගෙනවිත් දෙන්නම්

බලලා බලලා බලලා බලලා
හීන ඉවර වෙලා මගේ
දකින්න තව හීන නැතුව
ලතවෙනවා මං

නින්ද එන්නේ නෑනේ රෑට
හිත ඇතුලේ ඔයා නිදිද
මගේ හීන සේරම ටික
ඔයා ලඟද දැන්

ආයේ ආයේ එකම හිනේ
වත් පේනනෙ නැති වුනාම
මන් බැලුවා මොකද කියලා
හීන හොරු අරන්

හැමදාමත් බලපු හීන
තිබුනත් මට වැඩක් නෑනේ
ඒවත් සේරම අරගෙන
යන්න මගේ හිතින්

ඒවුනාට මන් කැමතියි
හැමදාමත් මට දකින්න
එකම හීනයක් විතරක්
දීලා යනවනම්

ඒ හිනෙත් ඔයා දකින
හීන වලින් එකක් මිසෙක
මගේ හීන ආයේ එපා
තිත්තයි මට දැන්

ඇයිද ඉතින් ඒ සේරම
දකිනව විතරයිමනේ මම
එකම හීනයක් නෑ තව
සෑබෑ වෙලානම්

අනේ ඉතින් ඒ නිසාම
ණයට හීනයක් දෙනවද
රෑ තිස්සේම මට බලන්න
හෙට ඇහැරෙනකම්

හැබැයි ඉතින් ඒ හීනෙත්
ඔයාම විතරක්ම ඉන්න
පාට එකක් වෙන්න ඕනේ
මට බලන්න නම්

ඔයාම විතරක්ම ඉන්න
එකම හීනයක් දෙනවද
හැමදාමත් ඒ හීනෙම
බල බල ඉන්නම්

අනේ ඉතින් ඒ හිනෙත්
හීනයක් ම නොවී ඉතින්
ඔයා ඉන්න නිසාමවත්
සැබෑ වෙනවනම්

හීන දකින් නැතුව මටත්
නිදියන්නට ඇහැක් වේවි
මගේ හීනේ වෙච්ච ඔයා
මගේ වෙනවනම්.

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, April 18, 2017

අම්මේ මගෙ මිල කීයද?

කොළඹ ඈයන්ට හිමි කුණු කන්ද බැම්මේ
මං උපන් මගේ අප්පච්චිගෙ ගේ තිබ්බේ
කුණු ගඳ ගහන මහ කුණු කන්දක් නැම්මේ
ඇයි අප්පේ අපි නිදයන පැල්පත හැදුවේ

කුණු කන්නට එන සුදු කොක්කුන් රෑන
කණකොක් පාට ඇයි අම්මේ හැමදාම
තිබුනානම් වෙල් ඉපනැල්ලක් හේම
ඉගිලෙනකොටවත් උන් වෙයි නේ සුදු පාට

අම්මා ඉව්ව හැම කෑමම එකවාගේ
එක සුවඳමයි ඒවායෙන් මට දැනුනේ
ලාබෙට ගත්ත කුණු එලවළු වල අම්මේ
කුණු රස නෙමේ අම රස විතරයි දැනුනේ

විලවුන් සුවද අකැපයි අපි හැමෝටම
කුණු සුවදමයි හැමදාමත් ඇදුම් වල
කුණු ගඳ අපේ මේ මුළු පලාතම
නහයට හුරු නිසා ඒකත් සුවඳයි අපට

වැස්සට කුණු වතුර අපේ ගෙට ගැලුවාම
අපිට කාරි නෑ ඒකත් සතුටක් අපිට
කුණු ගොඩ තෑගි කල සෘජුෆෝම් තට්ටු මත
පාරු පැද්ද හැටි මතකයි මට තාම

අවුරුදු දවසෙ කිරිබත් ඉව්වේ නැද්ද
කැවුම් කොකිස් අපි හැදුවේ නෑ නේද
මමත් ඉතින් වල් පල් අහනවා නේද
මන් නැති ගෙදර අම්මට අවුරුදු කොහෙද

පන්සල් යන්න නේ හිටියේ අපි හවස
චුට්ටක් සෙල්ලම් කරන්නයි එලියට ගියේ මම
දැන උන්නනම් පෙරලෙන බව කුණු කන්ද
මම යන්නෑ අම්මේ ගෙදරින් පිටට

එහාගෙදර මාමයි නැන්දයි නංගියි
අඳුන ගත්තේ මං දැන් පැයකට කලිනුයි
සෙල්ලම් කරපු යාළුවො දෙන්නත් මෙතනයි
බයවෙන් එපා අම්මේ මම තනියෙන්ම නෙමෙයි

අම්මගේ මැනික නේ මම මගේ සුදු අම්මේ
තාත්තටත් මුලු ලෝකෙම මම නේ අම්මෙ
එච්චර වටින පුතු අම්මගේ මම අම්මේ
ලක්ෂයකටද උන් මිල කෙරුවේ අම්මේ


-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, April 11, 2017

වසත් කල කොවුලාගේ දැස් අග කදුලක්


වසන්තය ඇවිදන්
කැලැන්ඩරයට කලින්
නෑ පෙනෙන මානයේ
මල් පිපෙන දවසක්

කොවුල් හඬ ඇහුනද
කොවුලෙක්ව දැක්කද
පළ නොමැති කජු ගහක
පහළ අත්තක හඬ තලන

කාටවත් නොපෙනෙන්න
කිසිවෙකුට නොහැගෙන්න
වසන්තයටත් හොරෙන්
කොවුලාගේ දෑස් අග කදුලක්

බක් මහට අඬගසන
වසත් කල කොවුලාගේ දෑස් අග කදුලක්

වීඩාබර කෙදිරියක්
පිටකරනවා හිමින්
ඇසුනාද කාටවත්
දුටුවාද කවුරු හරි
කළු පාට කොවුලෙකු
ඉකි ගසන අයුරුවත්

කිසිවෙකුට අගේ නෑ
වසත්කල කොවුලාගේ
දෑස් අග ඉතිරිවුනු කදුලක්

හිතරැගෙන පියාඹා ගෙන ගිහින්
වසත්කල මීදුමේ වසන්වුනු ඇය
මොර දීදී හොයනවා
තියාගෙන
වසත්කල කොවුලාගේ දෑස් අග කදුලක්
වසත්කල පළනොමැති කජු ගහක
පහළ අත්තක ලැග
කළු පාට කොවුලෙකු

වසන්තය ඒවී
ඔහේ දින ගතවේවි
ඒ නමුත්
වසත් කල කොවුලාගේ දෑස් අග කදුලක්


-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, April 2, 2017

හිත ගත්ත මල

නුඹට සම කල හැකි
කිසි මලෙක මේ ලොව නැති
නුඹ නොමැති මල් වතු ඇති
ලෝකෙකින් මට පල නැති

අමාවක වෙස් ගෙන සිසී
වළාකුලකුඳු වත් නැති
එකදු තරුවක් වත් නැති
ජීවිතේ හිස් අහසෙකි

රළ නොමැති මහ සයුරකී
රුවල නැති ඔරුවක් වැනී
අවර බැස යන හිරු වැනී
දිවිය අදුරෙන් ගිලගනී

දිය නොමැති රළු කතෙරකී
වැසි නොමැති දිගු වසරකී
දින ගෙවි යන්නෙත් නැතී
තත්පරෙත් කල්පය වැනී

වසන්තය ගිනිගෙන දැවී
යන බවක් හිත තුල ඇතී
තව දිනක් නුඹ ලඟ නැතී
ගෙවන්නට නම් මට බැරී

-සුනෙත් වෙඩිවර්ධන-SS