Monday, December 11, 2017

සිහින මාවතේ ගමන


මේ පාර හරි දුරයි
පිය මනිමි මම හිමිහිට
ගල් බොරළු කටු පදුරු
ගිනි ගත්ත වැලි මැද
පතොක් විතරයි සෙවනට
ඉර අව්ව නොදැනෙන ගානට
සනීපය දෙන හින්දම
හරි ආදරෙයි මම
දූහුවිල්ල මුසු වුන හුලගට

ඉඳ හිට වැටෙන වැස්සට
විඩාබර සන්සිඳුනට
සදාකාලික පිපාසෙට
දියබිදක් සෑහෙනවද
සෙවනැල්ල සමගින් තනියට
පිය ලකුණු කතරෙහි තිබුනට
රත්වෙච්ච වැලි පිච්චුව
යටි පතුල් සැනසෙනසේවිද?

තරුවලට දන්දී  අහසම
සඳ අමාවක හැම රෑකම
හුරු හින්දා ඇස් කළු පාටට
වරදින්නේ නෑ මඟ අඳුරට

අනන්තය තෙක් විහිදුන
මේ පාර හරි රළුයි
පිය තබමි මම හරි සීරුවට
සැබෑවන තුරු සිහනයම

-සුනෙත් වෙඩිවර්ධන-

Friday, December 1, 2017

දෙසැම්බර් ගීතය

තව වරක්
ඇස් ඉදිරියට එන්න
අපිට පුළුවන්
සීතල දෙසැම්බර් පින්නේ ආයෙමත් තෙමෙන්න
තුෂර නැහැවුනු තනතිල්ලේ
උනුහුමට ගුලිවෙන්න
ආයෙමත් දෙසැම්බර් පැමිණිලා හිත් නැද්ද එන්න

උතුරු සුලඟෙ සිසිලස හදවතට දැනෙන්න
හදවතේ එක කවුළුවක් පමණක්ම හැර බලන්න
මීදුමේ අපි ලිව්ව රහස් කතා එකින් එක කියවන්න
දෙසැම්බර් මීදුමේ ආයෙමත් හැංගෙන්න.

එන්න
ආයෙමත් කොනිත්තලා දුවන්න
එන්නම්
පසුපසින් මං නුඹව අල්ලන්න
හැමදාම වගේ නුඹ හිමේ ලිස්සලා වැටෙන්න
අත්හැරෙන්නෑ ආයෙමත් පුළුවන්
කොහොම හරි අල්ලන්න

දෙසැම්බර් පින්න
ආයෙමත් ඇස් ඉදරියට එන්න
සවනතට රහසින් ආදරෙයි කියන්න
ආදරෙන් පිපිරිලා මැරෙන්න
නුඹ නොඒ නම් නුඹ ලගට මට එන්න

-සුනෙත් වෙඩිවර්ධන-