Tuesday, July 7, 2020

නුබට මං නැති මටත් නුඹ නැති නිදහසක් තිබුනාද


සදාතනිකද ජීවිතේ යැයි
නුඹ ඇවිත් නොඇසුවානමි
සදා තනිකඩ වෙන්න තිබුනා
බදාගෙන නිදියන්න තිබුනා නිදහස

කඳුකරේ සීතලට
ගල්වෙලානම් සිතුවිලි ‍
සීතලම සිතුවිලි
කොළඹ එන කළු වලාකුලකට දෙන්න
දරාගත නොහැකි තැන මිරිකෙමින්
අකුනකට බරදී හෙන හඩින් ගුගරමින් බිම වැටෙන
වැස්සකට නිදහසේ තෙමෙන්නම් මම

නුඹ මගේ යැයි මා නුඹේ යැයි
පොරොන්දුවකට උකස් කල දා ඉදන්
අප අපේ නිදහස
මට නුඹම විය නිදහස නුඹට මා විය ද?
 නුඹගේ නිදහස
නුබට මං නැති මටත් නුඹ නැති
නිදහසක් තිබුනාද ?
මං නැතිව නුඹ නිදහසක් ලැබුවාද ?

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, June 23, 2020

මාරම්බරී ජන්ම දින සුබ වෙතී......


මනරංජනී , සඳ රාජිණි
මට සිලුටු වදනන් කියනා මධූභාෂීනි
රන්දේහිනි , කෛයිලාෂිනි
කෙලිලෝල බැල්මන් හෙලනා උන්මාදීනි
කෝමල අංගනි , කෝකිල අංජනී
පිනි තුහින සිසිලස සලන පින්සාරිනී
රූපාවති දිව්‍ය රූපාංගනී
ප්‍රියප්‍රේම සුව සදන සීතාංගනී

මනමෝහිනි සෘංගාරිනි
රෑ අහස සරසවන තරුරාජිණි
රණ හංසනී  මගේ මන්දෝදරී
සංසාරීනි මාගේ නිම්නාවිනී

නුඹ ළැම තුරුළ සඳ සිහින දෝලාවකි
පෙම් මදහාස පිරි බැල්ම විජ්ජාවකි
යක්ෂනිය සේ උරණ වෙන මාලනී
දේවියනි මම නුඹගේ විශ්‍රවමුණි

-සුනෙත් වෙඩිවර්ධන -

Sunday, June 21, 2020

...ජොලියටම බර ජොලි පොරක්...


සුදු සමක් ඇති
ජොලි හිතක් ඇති
ජොලි පොරෙක් වෙති .
ඔහු පොරක් වෙති.         

දොසා නැත කීවාට කම්නැති
මුසා බස උපන් හැකියාවකි
රසා කර කියන විටි සත්‍යමයි හිතුවැකි
අසා සිටි උන්  ඉඳින් ඉඳුරාම ඇන්දෙති

ලොවෙත් නැති  ලොවි ගහෙත් නැති
ලොකේ කිසිවෙක් කවදවත් කාලා නැති
කෑම වට්ටොරු ගැන දන්න
විටක ඔහු කෝකියෙක් වෙති ,

විටක වඩු බාසෙකි , මේසන් හැන්ද හුරු බාසෙකි.
දන්න දේකුත් නැති නොදන්නා දෙයක් ගැනවත් දන්නේ නැති
මහා පඬි උතුමෙකි
ගීත ගායකයෙකි , ගීත රචකයෙකි ,
සභා අමතන කථිකියෙක් වෙති

ඔහුට විශ්වයම එක ක්‍රීඩා පිටියකි
මිනිසුන් සියල්ලෝම ක්‍රීඩකයො වෙති
උන් කරන හැමදේම ක්‍රීඩාවකි
ඔහුත් ක්‍රීඩාකරන අමුතු ක්‍රීඩකයෙකි

ඔහු තරම් චන්ඩියෙක් දැන්නැති
හතර දෙනෙකුට පියෙක් වෙන මිනිසෙකි
පනහ පැන්නාට තිස්පහක පෙනුමැති
තව තරුණ මුත් ඔහු දැනටමත් සීයෙකී

- සුනෙත් වෙඩිවර්ධන -

Monday, May 11, 2020

අම්මේ රිදුනාද හිත


අම්මේ රිදුනාද හිත
අම්මාවරුන්ගේ දිනයේ නුඹෙ නමට
ලිව්වේ නැහැ කවියක්

වැලි කැට තැන තැන විසිරුනූ
රතු සිමෙන්ති බිම
දිගාවී ඇණ තියන් සැටියට
සොයනවා දුටියෙමි
දහසකුත් දරුවන්
අම්මාට ලියු කවි අතර
තිබේදැයි නුඹ නමට නිසැදැසක් කවියක්
අම්මේ රිදුනාද හිත
අම්මාවරුන්ගේ දිනයේ නුඹ නමට
ලිව්වේ නැහැ කවියක්

හිතකවත් නොතිබුන
දෙයක් ගැන ඇසුනාම
කට කොනින්
“චික් හඩින් සිනාසී “
අතහරින නුඹ ගැන
ආටෝපයට ලියන කවියකින්
විග්‍රහ කරනු හැකිවේද මට

ඉතින් අම්මේ රිදුනාද හිත
“චික් හඩක් සිනහවක් “
කොමාවක්
තිතක්.

-සුනෙත් වෙඩිවර්ධන-