Sunday, December 11, 2016

සුදු කළුවරින් කළු කළුවරට (කදුකරයෙන් කොළඹට)

සදේ උඹ තවටිකක්
අහසේම  ඉඳපන්.
සුදු පාට කළුවරට
පේන්නෑ මොකවත්

උඳුවප් සුදු සේල
වෙලාගෙන හතරඅත
කළුවරත් කළු නෙමෙයි
පේන්නේ සුදු පාට

සිරි සිරි හඬින් බිමට
වැටෙන පොද පින්න කැට
දෙවෙනි ඇස් දෙක නැතිව
යන්න මඟ කියනවද?

හඳට ලම්භකව තව
හඳවල්ම හතරක්
සුදු සේල අතරින්
ඇස් වලට නුදුරින්

අත දමා සමුදෙන්න
සුදුපාට කළුවරට
කළු පාට කළුවරට
යන මඟට ගොඩවෙන්න

සදේ උඹ තව ටිකක්
අහසේම ඉදපන්
කළු පාට කළුවරෙත්
පේන්නෑ මොකවත්

-සුනෙත් වෙඩිවර්ධන-

Thursday, November 3, 2016

අමර හඬ

සත් ස්වරය සත්කඩක
වෙලා විසිරිලා ඇත
ස්වර ලොව පුරා හද
සැඟවිලා වළාවක

හාර්මොනිය තබ්ලාව
වී නිහඩ පැත්තකය
වියෝලය සිතාරය
පවා හඩනවා අද

පුරාතන කවියන්ද
මළානික නෙත් ඇතිව
බලා බිම සිත් ගැතිව
පිසිනවා කඳුළු කැට

හෙළ මහා ගන්ධර්ව
පියා නෙත් පියාගෙන
ස්වර අතර රැදුනු හඬ
අමර ස්වර නිහඩ විය

නිවන් මඟ දකින තුරු
සසර මඟපුරාවට
හෙළ දෙරණ රුවන් හඩ
ඇසේවා මේ දෙරණ මත්තෙම


-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, October 23, 2016

ගං ඉවුරද මුහුදු වෙරළද ?



දියඹට විසිරෙණා පෙණ කැටි
බට ගැට ගැසු පහුරේ හැපී
පල්ලමට දිය සැඩ වෙවි.
ඔහේ ගඟ පහලට යතී

ඉතින් මම පහුරේ නැගි
ගෙවු දුෂ්කර ගමනකී.
ඉදින් දැන් හොදටම ඇති.
පහුරු පැත්තක තැබුවැකී

දියඹ දැන් මගෙ මිතුරෙකි
ඉදිරිය යන්නට දිරි දෙතී
දිය ඇල්ල කින් බිම වැටී
තවම මම දිය මත සිටී

ගඟ ඔහේ ගලනා සැටී
නමුත් තව සැඩ නම් වැඩී
පල්ලමට වැටුනට මදී
සැඩ පහර පහුරට වැඩී

පල්ලමට පසු නිසැකවම
ඇල්ලකින් කෙල වර වෙයිද?
නැතොත් ගඟ පහුරත් සමඟ
මුහුදටම මා ගෙන යයිද ?

චන්ඩ මාරුත කුනාටූ
සයුර හිමිකම් කියාපු
හැකිවේද දිවි සුරකිනූ
පහුරකට බට ගැට ගැසු

ගඟද මුහුදද දෙකකම එකමය
මොකේ හිටියත් උරුම මරණය
ගොඩ වෙන්න හොද ගඟේ ඉවුරද?
එහෙම නැත්තං මුහුදු වෙරළද ?

-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, July 24, 2016

මාතෘකාව නුඹ

ආදරිය නුඹ
ආදරේ නැතුවාට මට
ආදරෙයි මම
නුඹට හැමදාකම

හිතුවාට නුඹ ඔහු ගැන
හිතනවා මම නුඹ ගැන
රෑ පිපුණු කඩුපුල් මල
අයිතිය නුඹේ කාටද?

නොනිදාම රෑතුන් යම
ඔහු ගැනම නුඹ හිතුවට.
ඊටත් වඩා නුඹ ගැන
මන් මෙහෙ හිතනව අද

තාම හිත සසලයි නුඹේ
මගේ පෙම අචලයි මෙහේ.
තවම කිම කිවමැන නගේ
නොහැගුනේ මගේ ආදරේ?

-නිරංජන වෙඩිවර්ධන-

දෙයියන්ට පිස්සු

දෙයියන්ට පිස්සු
වැරදියි කියා දැන දැනත්
නෙතට නෙත මුණ ගස්සන
දෙයියන්ට පිස්සු

හිතකට හිතක් නොගැලපෙන
නමුත් ගලපන්න වෙරදරන
දෙයියන්ට පිස්සු
සැලසුම් කරලම ඈ නෙතු පෙන්වූ
දෙයියන්ට පිස්සු

තනියෙන්ම හිටපු
මාව නැති කරපු
හේතුවක් නැතුව
ඈට සිත් ඇති කරපු
දෙයියන්ට හොදටෝම පිස්සු


ඔව් දෙයියන්ට පිස්සු
මේතරම් දේවල් සිදුවෙලත්
තවම ඈටම පෙම්කරන
මට
ඊටත් වඩා පිස්සු

-නිරංජන වෙඩිවර්ධන-

Friday, July 1, 2016

නෙත්සර දෙව්දුව ඒ නුඹේ ඇස් දෙකද?

හද්දා දවාලේ
ඇහැරගෙන සිහියෙන්
මන්දැක්ක සිහිනය
ඒ නුඹේ ඇස් දෙක

දුරකථන තිරයට උඩින්
ඇහිබැමට ලංකර
වශි කෘත බැල්මක්
හෙලු හැටි මතකද?

නෙත්සර දෙවිදුවද
අදහගත බැරිව මම
ගල් ගැසුනා හුන් තැනම
නුඹේ එක බැල්මට

මායා ලෝකයක
හදවතක් සිරකර
තවකෙකු දිහා ඇයි
බැලුවෙ ඒ ඇස් දෙක

බැල්මකින් සොරාගෙන
රැගෙන ගිය හදවත
තියා ගනු බැරි ඇයිද
ඔය නෙත් දෙකෙ හිර කර

-සුනෙත් වෙඩිවර්ධන-

Monday, June 27, 2016

පාට පාට මිනිහා

අනේ මේ අහපන්
පොඩ්ඩක් කියාපන්
දැකල තියෙනවද උඹලත්
පාට පාට මිනිහෙක්

වෙලාවකට රතු
වෙලාවකට කොල
කහ පාට වෙලාවට
නිහඩයි නෙ ඔහු

දන්නා දෙයක් නැති
නොදන්නා දෙයක් නැති
පාට පාට මාරු වෙන
පාට පාට මිනිහෙක්

ඡන්දෙ නිල් පාටට
එදා ඉදලාම
කොල පාට පෙන්නන්න
බැරිම බැරි පාට
පොර මාර ජොලි පොර
කොල වැටුනු දාට
හැබැයි නිතරෝම
මිහිහ රතු පාට

කළු පාට මූණක්
උරුම තිබුනාට
වැඩ වලින් හැමදාම
මිනිහා සුදු පාට
බැලුවාම පේනවා
හෙන වයස පාට
හැබැයි හදවතින් මිනිහා
කොළුගැටයා තාම

මිනිහගෙන් ඉල්ලුවොත්
කවුරු හරි ගේම
තනියෙන් උනත් ගේම
දීල එයි ඌට
සැලකුවොත් මිනිහට
අත තියලා ගාන
ඉතින් හැම දාම
ඌට කොල පාට

පෙන්නන්න බැරි චරිතෙ
මිනිහා කාටත්ම
හැබයි අවුලකුත් නෑ
හොදට හිටියාම
අපෝ හෙන මල ඇණේ
කියල හිතුනාට
මෙහෙ හුගක් පාළු වෙයි
මිනිහා නැකි දාට

ඉතින්
දැන්වත් කියාපන්
දැකල තියෙනවද උඹලත්
පාට පාට මිනිහෙක්

-සුනෙත් වෙඩිවර්ධන-

Saturday, June 25, 2016

මගේ හිත අරන් ඔහු සමඟ නුවරට

උඩරට මැණිකෙ හැමදා නුවරට එනවා
අද හරි විශේෂයි මගෙ මැණිකෙත් යනවා
තනියම නෙමේ තව යාළුවෙකුත් එනවා
වයසෙම නැතිවුනත් දෙන්නා ගැලපෙනවා

මුල්ලක අදුරු අසුනක් ඇත වෙන් කරලා
ඒකේ ඉදන් ඇති වෙනකම් ලව් කරලා
මහන්සියෙන් කෝච්චියෙන් එන හින්දා
නුවරට යන්න කලියෙන් පැතුමක් පැතුවා

මල් වැසි ඇද වැටි මඟ සේදේවා
මල් අතු බරවෙලා මං සැරසේවා
මල් පාවඩ ඒ මං වල ඇතිරේවා
මල් සුවඳින් මුළු නුවරම නැහැවේවා

පේරාදෙණිය මල් වත්තේ බංකුවක
රෝස පෙති එලා ඇති හරි හැඩ වෙන්න
උණ ගස් වට වෙලා ඇති කාටත් නොපෙනේන
එය කියාපු තැන දෙන්නට තනිවෙන්න

උණ ගස් සිදුරු අස්සෙන් උන් බලන කොට
ඉක්මනටම තුරුලේ උඹ හැංගෙන්න
පපුවට හිස තියන් ලැජ්ජා විදින විට
නලලට පුංචි හාදුවකුත් අරගන්න

කොපුල් පිරි රත් පැහැයෙන් දිලිසෙන්න
මුතු වන් සිනාවෙන් ඔබ මුව සරසන්න
ලවන් සැරසෙනා විටදී සැනසෙන්න
මට හිමි උඹේ ඇස් දෙක උඹ වහගන්න

මාලිගාව ඇත පේවී උදයින්ම
නෙළුමුත් අරන් දෙන්නට හැක එහි යන්න
දළදා වහන්සෙට ඒ මල් පුද කරන විට
මගෙ නමිනුත් සුදු නෙළුමක් පුද දෙන්න

වළා බර වෙලා අද මුළු අහසේම
හවසට වහී මුළු නුවරම සේදෙන්න
දම් පැහැ කුඩය ඔහු අත්ලෙහි රදවන්න
හිරිකඩ එන්න පෙර ඔහු තුරුලට යන්න

හවසට ආයේ යනවිට හදවත් පිරිලා
සැනහෙන් ඇති තරම් ඔහු තුරුලට වීලා
පොඩි නම්බුවක් අම්මට ඉතිරිව තියලා
ගෙදරට ගොඩ වෙයන් හරි වෙහෙසයි කියලා

-සුනෙත් වෙඩිවර්ධන-

Monday, June 20, 2016

වළාකුළ

වළාකුළ උඹ
ඇහිපිය ගහන සැනින්
හුඟක් දුර ගිහින්

දැන් ඉතින් අහස
නිල් පාට හිස් ගොඩක්

පොඩි හුලඟකටත්
ගසා ගෙන ගිය උඹ

සැඩ සුලඟකින්
විසිරිලා යාවී

අහස බය ඒකට

-සුනෙත් වෙඩිවර්ධන-

Saturday, June 18, 2016

පයිරෙට්ස් ඔෆ් ද කැරෙබියන්

අහෝ අසරන
ඩේවි ජෝන්ස්
කෑලීප්සෝට පෙම්කල තරමක

වෙනකෙකුට අහිමිවන ලෙස
ගලවා පෙට්ටියක දැමූවා හදවත


එහෙත්
ටියා ඩෙල්මා
ජැක් ස්පැ‍රෝටත් ආලය කලා

-සුනෙත් වෙඩිවර්ධන-

අළුත් කලිසම



අමාරුවෙන්
කැඩුනු අත බේරගෙන
තනි අතින් ඇන්දා
මම අළුත් කලිසම
කරන්නට කිසිවැඩක්

නැතිතැන
වාඩිවී සිටියා
පුටුවක් උඩ
 
වෙලා එලිමහනට
අනේ මාරයි
හමන සුලගින්
ඇතුලටත් දෙන අමුතු
සිසිලස
යකෝ
බැලුවාම
ඉරිලා මැද්දෙන්ම
මගෙ අළුත් කලිසම

- සුනෙත් වෙඩිවර්ධන -

හුදකලාවේ නගරයට

සිහින සමුගන්නා
වසන්කය කෙලවර
ගොපළු හදවත
ඉකිබිඳින අයුරු
ලෝකයට නොපෙනෙන්න

පඳුරු අතරින්
අඳුර අඩගසනා
ගොම්මනේ
ඇවිදයන්නට
හුදකලාවේ නගරයට

සිසිරයට අඬගසන
වසන්තය කෙලවර
උමතුවෙන්
කොවුලෙකුත් හඩනා
සොයනවා ඌ කෙවිලියව
වසන්තය අග
ඌව තනිකල

තද ගොපළු හදවත
රුහිරයෙන් තෙත්වී
මල්සරට වැරදී
අතහැරුනු
හීයකින් හිල්වී

අළුතින් සිහිනයක්
මිලට අරගන්නට
වියදමට කදුලුත් අරන්
පියනගයි
කොවුලාද සමඟින්
පොසොන් සඳ නැගෙමින්
මඟ කියන මලානික එළියෙන්
හුදකලා නගරයට

බිදුනු හදවත් ඇත්තවුන්ගේ
නවාතැන්පළ

- සුනෙත් වෙඩිවර්ධන -

Friday, June 17, 2016

පිනකට විකය

වැද ඇටී මිටිසි ගගිට නැනු ලෙරි බැසම
සල කේරම මැඩ වාගේ උඩ කොටය
සැන් දතියක් සෙස්තිම උටුවක් පුඩය
තැරි බැන වව්ලි මෙන්මා පිනකට විකය

කනදිර රකිණ  අත නැද දළු මුවසේම
හැදඇලෙනා ටාපක් වත නැරු වාස
දිරිත නිග සිදෙන් මහනා සුඩ සැලඟ
මුන හේසලයි නද අම් පළු මුනිරසය

පිනකට රිහැලා මැන් දගෙ ජිළු මූවිතය
කිචනත් වයනෙන්වෙ මන් දැට පිනකටය
පිනකට වයකින්න නරි බැම් කා මෙවිය
වකියනොනු ගෙමේ මා පිනකට විකය

-වෙනෙත් සුඩිධර්වන-

Saturday, June 11, 2016

නිදි මරණ ඇස්

කොළඹ අහසම නිදි
ඇස් දෙකක් ඇහැරන්
මතක සලරූ පිටුපසට
නරඹමින්
අමතක නිහඩ තැන්වල
තතු විමසමින්
වළාකුළු අතර
අතරමන් වුණ
තාම ඒ ඇස් ඇහැරන්

අඳුර සහ ආලෝකයේ
මායිමෙ ඉදන්
වකයක උරුම ඇති සිසි
ඒ ඇස් උකස් අරන්
සිසි වන උවන් ඇති රුව
හිත තුල අඳිමින්
ඇස් බලා ගත් අත සඳ
වක සොයමින්

ඉදහිට කෑ ගහන කපුටගෙ හඬ ඇහිලා
ඇස් සම වැදී සිටි දැහැනම බිඳිලා
වට පිට බැලුවාම දුම අතරින් නැමිලා
රන් පත් අළු වෙලා තැන තැන වැටිලා

තාම කොළඹම නිදි
ඇස් දෙකත් නිදි මතින්
පුටුවකට බර දිදි
පැය දෙකක් නිදි යතී

-සුනෙත් වෙඩිවර්ධන-

Thursday, June 2, 2016

දුටුවේද කිසිදිනක හඩන වැහිළිහිණියෙකු

ඉකිබිඳින සයුර උඩ
හඩන වැහි ළිහිණියෙකු
තෙතබරිත පියාපත්
සළනවා හිමිහිට.

පියාසල නොහැකි ලෙස
විඩාපත් තටු යුගල
කෙදිරිගසමින් සලා
හොයනවා මොනවද?

කාල පැහැ අහස්කුස
ගිගුරුමෙන් දෙබෑවී.
අකුණකින් දෙන එලිය
මඟ කියනවා ඌට

දුටුවේද කිසිදිනක
හඩන වැහිළිහිණියෙකු
ඉකිබිඳින සයුර උඩ
පියාඹනවා මෙලෙස.

නිශෘචර සියතුන්
නොපෙනෙනා මානයේ
නිහඩ බව බිදිමින්
රළ නගන ශබ්ධයට
පියාපත් සලමින්
ක්ෂිතිජ ඉම පසුකොට
හිතුමතේ පියාඹන

දුටුවේද කිසිදිනක
හඩන වැහිළිහිණියෙකු
ඉකිබිඳින සයුර උඩ
පියාඹනවා මෙලෙස.

කංකෙදිරි ගාමින්
රළට රළ හැපෙන
සයුර පත්ලට යන්න
දිවිරැකුම් මනාපය
අත්හැරිය බව නොවෙද
එහි අරුත

දුටුවේද කිසිදිනක
හඩන වැහිළිහිණියෙකු
ඉකිබිඳින සයුර උඩ
පියාඹනවා මෙලෙස.

හුදෙකලා නගරයයි
මහ මුහුද
මොර තලන අහස යට
ඉදිකෙරුනු
දුටුවේද කිසිදිනක
හඩන වැහිලිහිනියෙකු
හුදකලා නගරයට
ඇතුළු වුනු

-සුනෙත් වෙඩිවර්ධන-

Monday, May 30, 2016

සිග්නල් නැති ආදරේ.

ඒපැත්තේ සීතලයි.
මේ පැත්තේ උනුහුමයි.
ඇය ඉන්නෙ දුර තමයි.
දුරකථනෙ පිහිටමයි.

මේ අවස්ථාවේ සම්බන්ධ කළ නොහැක.
මගේ දුරකථනෙ නම් ඔක්කෝම කනු ඇත
පෝන් අක්කාට මට සෙකන්ඩ් නම් විය නොහැක
ඩයල් කරනව මම නම්බරේ එක දිගට.

Face Book Whats App Viber තිබුනාට
කොල් එක වගේ මට ලේසි නෑ ඒක.
හතර අත දණ ගගා ඩයල් කෙරුවාට
එහෙට සිග් නල් නෑනේ මගේ කරුමේ......ට.

සිග්නල් නැති ආදරේ
Not reachable නේ
Reachable වෙන දවස
මොබිටෙල්ය දන්නේ


-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, May 24, 2016

වෙසක් නැති කොළඹ

තවම මුදුනේ වූ වෙසක් සඳ
කොළඹ පැල්පත් උඩින් පෙනුනට
සඳට ගැලපෙන පහන් දැල්වුනු
පැලක් වත් අද නෑනේ කොළඹෙම

කෝ කොහිද බොල වෙසක් උත්සව
මහ තොරණ් ළඟ සෙනග දැක්කද
ඒ තියා කූඩුවත් තිබුනද
මෙදා කොළඹට වෙසක් නැතිවද?

කොටුවෙනම් මහ තොරන් දෙකකි.
තොරණ් බැලුමට සෙනග ටිකකි
වෙසක් දන්සැල් එකකි දෙකකි.
දිගට පෝලිම් නැතිම හැඩකී.

ටිකක් වාහන තද බදේ
වෙසක් සැණකෙළියකි මෙහේ
වෙනකොහේවත් නෙමේ
ගංගාරාම පන්සලේ.

ගංගාරාම විල මැද
පාවෙන කූඩු එමටය.
ලඟ පාත ඇති ගස් වල
බල්බ් නම් එල්ලා ඇත

ගග අනිත් පැත්තේ
මහ පාර අයිනේ
වැඩියෙන්ම ඇත්තේ
කඩචෝරු මයිනේ

නූඩුල්ස් කඩයකි
පොඩි කූඩු කුටි එකකි දෙකකි
නෙස් කැෆේ කඩයකි
කූඩු කුටි නොව ආයේ කඩයකි

ඔන්න අපි සේරම පවුලමත් එක්කම
වෙසක් සිරි බැලුමට ආවා මේ කොළඹට
මතකේ පිරෙන්නට ඉමු ෆොටෝ එකකට
සැණෙකෙලිය නැති හෙයින් හැරෙමු ගඟ පැත්තට

ෆොටෝ එකකට වත් ගන්න
කූඩු නැත පෙන්නන්න
මේ පාර වෙසක් සිරි
ගංවතුර ගිලලද?

පාරේ යන කූඩු සේරමත් ගත්තම
සමස්ථයේ සේරම රැළි කොටයි පහලට
මොකද කූඩුවේ රැලී කොට කෙරුවෙ ඔච්චර
තේරෙන්නෙ නෑ එහෙ  ගංවතුර හින්දද

පාරේ ඇවිදින වෙසක් කූඩු
නරඹන්න එන කොල්ලෝ කෝඩු
ඇති තරම් වෙහිසිලා ජෝඩු
වෙලා යනවා නොබල කූඩු

-සුනෙත් වෙඩිවර්ධන-

Wednesday, March 16, 2016

විදින්න හෝ විදවන්න

උඹට හිතක් නෑ
තිබුනත් මට ඔනෙත් නෑ
හැබැයි උඹට නැති ඒ හිත
මගෙ හිත බද්දට අරගෙන

අයිතිය මාලඟ තිබුනට
භුක්තිය විද හැකියි උඹට.
විදිනවාද නැති යන වග
තීරනයත් උඹේ හොදද?

අනේ ඉතින් මටත් මොකද?
වින්දොත් උඹ විදපන්
නැත්තං ඹහෙ හිටපන්.
-සුනෙත් වෙඩිවර්ධන-

Thursday, February 25, 2016

කියවන්න කළුවරේ

හන්සි ජයසිංහ අක්කා මෙහෙම කිව්වා.

කරන්ට් එකත් ගිහින්
වැස්සකුත් වහින වෙලාවෙ
කරන්න තියෙන හොඳම දේ
පොතක් කියවන එක.
මං යනව
ටා(ර්)සන් එක්ක ඔපාරයට.

ඉතින් මං මෙහෙම කිව්වා.

කරන්ට් එක ගිහින්
ඉර අවර ගිහන්
අදුර බදු අරන්
පළාතම ඉතින්

පොතක් කියවන්න
හොඳම වේලාව.
ඒත් බන් කළුවරයි.
පොතේ කළු අකුරු.
පේන් නෑ නේද?

ඉටිපන්දමක්
කුප්පියක් හරි
පත්තු කරගන්න
ගිනි පෙට්ටියක් ලඟ තියෙනවද?

සැලෙන ආලෝකෙට
ඇස් උගස් නොකර
ඉදින් දැන් හොදම
වේලාව නොවෙද
ටිකක් නිදියන්න!

ඇත්ත නේ !

-සුනෙත් වෙඩිවර්ධන -

Sunday, February 7, 2016

හිටියා මෙහෙම කෙනෙකුත් නමින් පරසිදු බාප්පෙක්

වනේ බඹුනෙකුට වෙස්ගත්
කරේ පඬි ඔලගුවක් දාගත්
කෙනෙක් මතෙකෙට එනවා මට බන්
පොරන පඬි උතුමෙක්ය ඌ දැන්

ඌ ගෙදර එනවිට
ගේනවා මස් බෑග් දෙක දෙක
යාළුවෝ ගොඩකට
බොතලුත් යහමෙට.

ආච්චිගෙ ජොබ් එක
හදන එක ඒ මස් ටික
බාගයක් ස්ටුය
ඉතුරු ටික හින්දලා මිරිසට.

කොට්ටම්බා ගහයට
තියලා කොට ස්ටූල් එක
සෙට් එකම සෙට් වෙන්නේ එතනය.
උදේ එලි වෙනකම්ම සින්දුය

නත්තලේ දවසට
ඉවරඋනොතින් කලින් පාටිය.
පහුවෙනිදා උදයට
කිරි නෙමේ  රෑ ඉතුරු භාගය.

දීසි බෝතල් බීදුනේම නැති
රන්ඩු සරුවල් නොවුනේම නැති
ගමම රෑ නිදියන්නේ නැති
ලඟදි උඹ ආ රැයක් මතකේද නැති

රෑක දැක්කොත් පමණී
දවාලක උඹ දැකිය නොහැකී
එහෙම උනොතින් පිනකි
පූංචීටනම් මගුල්ගෙයකී

ගියොත් අවුරුදු දහයකින් පස්සට
මතක් කරතැකි මෙහෙව් කාලය
එහෙව් කාලය හෙනම මාරය.
හැමෝටම අමතකම ගානය.

ගියත් උඹ පිටපාරෙම
වරෙන් විගහට ආයෙම
අනේ උඹ නොදැකම
ලොකු වෙලා අපි මෙහේ හොදටම

-සුනෙත් වෙඩිවර්ධන-