Saturday, June 25, 2016

මගේ හිත අරන් ඔහු සමඟ නුවරට

උඩරට මැණිකෙ හැමදා නුවරට එනවා
අද හරි විශේෂයි මගෙ මැණිකෙත් යනවා
තනියම නෙමේ තව යාළුවෙකුත් එනවා
වයසෙම නැතිවුනත් දෙන්නා ගැලපෙනවා

මුල්ලක අදුරු අසුනක් ඇත වෙන් කරලා
ඒකේ ඉදන් ඇති වෙනකම් ලව් කරලා
මහන්සියෙන් කෝච්චියෙන් එන හින්දා
නුවරට යන්න කලියෙන් පැතුමක් පැතුවා

මල් වැසි ඇද වැටි මඟ සේදේවා
මල් අතු බරවෙලා මං සැරසේවා
මල් පාවඩ ඒ මං වල ඇතිරේවා
මල් සුවඳින් මුළු නුවරම නැහැවේවා

පේරාදෙණිය මල් වත්තේ බංකුවක
රෝස පෙති එලා ඇති හරි හැඩ වෙන්න
උණ ගස් වට වෙලා ඇති කාටත් නොපෙනේන
එය කියාපු තැන දෙන්නට තනිවෙන්න

උණ ගස් සිදුරු අස්සෙන් උන් බලන කොට
ඉක්මනටම තුරුලේ උඹ හැංගෙන්න
පපුවට හිස තියන් ලැජ්ජා විදින විට
නලලට පුංචි හාදුවකුත් අරගන්න

කොපුල් පිරි රත් පැහැයෙන් දිලිසෙන්න
මුතු වන් සිනාවෙන් ඔබ මුව සරසන්න
ලවන් සැරසෙනා විටදී සැනසෙන්න
මට හිමි උඹේ ඇස් දෙක උඹ වහගන්න

මාලිගාව ඇත පේවී උදයින්ම
නෙළුමුත් අරන් දෙන්නට හැක එහි යන්න
දළදා වහන්සෙට ඒ මල් පුද කරන විට
මගෙ නමිනුත් සුදු නෙළුමක් පුද දෙන්න

වළා බර වෙලා අද මුළු අහසේම
හවසට වහී මුළු නුවරම සේදෙන්න
දම් පැහැ කුඩය ඔහු අත්ලෙහි රදවන්න
හිරිකඩ එන්න පෙර ඔහු තුරුලට යන්න

හවසට ආයේ යනවිට හදවත් පිරිලා
සැනහෙන් ඇති තරම් ඔහු තුරුලට වීලා
පොඩි නම්බුවක් අම්මට ඉතිරිව තියලා
ගෙදරට ගොඩ වෙයන් හරි වෙහෙසයි කියලා

-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment