Friday, August 25, 2017

හිස් අදුරු කුටි වලත් මොර තලන ශබ්ධ ඇත


කළු සුදු අපිරිසිදු ටයිල් කැට රටාවට නිදන විට
කුප්පි එලියට දිස්නෙ දෙන කහ ගැහුණු බිත්ති මත
අදුර ගිලගත් සෙවිලි උළු මතට කළු සුළඟ වදින කොට
හිස් අදුරු කුටි වලත් මොර තලන ශබ්ධ ඇත

සෙවනැල්ල මූවාකර අදුරු මුල්ලක කොණක
දනිහ නලලේ වදින තෙක් වකුටු වී තනිව
කඳුළු සිරකර නෙතඟ වෙව්ලමින් සීතලට
හුදකලා කම හඬන ශබ්දයට කන්දෙන්න

මැදියමේ කවුළු කැටයම් මැදින් එන සඳ කිරන
ටයිල් කොටු මත මවන සිතුවම් රටා හිත ගිලගන්න
අදුර තරකරන වෘක්ෂ සෙවනැලි අතර අත් තටු සළන
නිශාචර සියොතුන්ගේ නාදයට නැලවෙන්න

හිස් කමින් පැන නගින මොර තලන ශබ්ධ මැද
අඩ අදුරේ වැලපෙන පිල් හැලුණ මොනරෙකුට
කිසිවෙකුත් ඉන්නවද අදුරු කුටියට පැමින
හුදකලා නගරයට පියමනින මග කියන

-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment