Saturday, July 8, 2017

ස්නේහයේ අවසාන හුස්ම පොද


උඩු හිතට හොරැහින්
යටි සිතෙන් පැන නගින
අපරිමිත ස්නේහයක්
නුඹ නමින් නැගෙන
මියයමින් තිබෙන

අයිතියක් ඇති නමුත්
අයිති කර නොගනිමින්
නුඹ නොවිඳිමින් විඳින
අපරිමිත ස්නේහයක්
නුඹ නමින් නැගෙන
මියයමින් තිබෙන

විඩින් විඩ නැගෙමින්
හිමි හිමින් ගැහෙමින්
විටින් විට වද දෙමින්
නුඹ නමින් මගෙ හිතේ
නුඹේ අනවසරයෙන්
මට හොරෙන් නැගුන

මිය යමින් පවතින
අපරිමිත ස්නේහයේ
අවසාන හුස්ම පොද

වැටෙන්නට කලියෙන්
රැකගන්න
නුඹ නමින් මගෙ හිතේ
මිය යමින් පවතින
ස්නේහයේ අවසාන හුස්ම පොද

රළ නොමැති සයුර මත
හිරු ගිලෙන ක්ෂිතිජයේ
ඉතිරි හිරු කිරණක්ය
නුඹ නමින් මගෙ හිතේ
මිය යමින් පවතින
ස්නේහයේ අවසාන හුස්ම පොද

සඳ නොමැති අහස් කුස
අඳුර මැද එළිය දෙන
තනි සිකුරු තරුවක්ය
නුඹ නමින් මගෙ හිතේ
මිය යමින් පවතින
ස්නේහයේ අවසාන හුස්ම පොද

ඉක්මනින් වැටේවි
වැටෙන්නට කලියෙන්
රැකගන්න
නුඹ නමින් මගෙ හිතේ
මිය යමින් පවතින
ස්නේහයේ අවසාන හුස්ම පොද

- ආදරේ කියන්නේ නොහික්මුණු කලාවක් -
-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment