Sunday, November 5, 2017

මගේ සිහින තොටුපලට එන්න

එන්න සේරෝම එන්න
මගේ සිහින තොටුපලට එන්න
සිහින ඔරුවක නැගලා සිහිනයෙන් සිහිනයට යන්න
දැන් විකුණනවා මගේ සිහින
එන්න අරගන්න
මං බලපු මං දැකපු මගෙ සිහින

බය හිතෙන
දුක හිතෙන
සතුට ඉතිරිලා යන
බලාපොරොත්තු පිරිච්ච
කැඩිච්ච ගෙවිච්ච පිච්චිච මගේ සිහින

පොඩිකාලේ මන් දැකපු
මන් වැඩියෙන්ම බයවෙච්ච හීනේ
බස් එකට නගිද්දි අම්මා මග හැරුනු සිහිනේ
අරගන්න කවරු හරි පොඩි එකෙක්ට දෙන්න
මං වගේ බයවෙන්න

සුපිරි ජයමල්ල දිනපු
රජ වෙච්ච සිහිනය
ගෙනියන්න ඒකත්
තඹයක් අතේ නැතිවෙච්ච දිනයක
කල්පනා කරන අතරතුර
නින්ද ගිය එක තත්පරේකදි නරඹන්න
මං වගේ සිහිනයෙන් රජවෙන්න

සිහිනෙන් මං පදින කාර් එක
මගෙ සිහින මාලිගේ
ඇයි මගේ ප්ලෙන් එක.
මගේ මුළු සිහින පාරාදීසයම ගෙනියන්න

සේරෝම අරගන්න
එකම එක සිහිනයක් පමනක්
ඉතිරිකර යන්න
මන් දකින්න ආසම හීනය
පෙට්ටියක අගුලු ලා ඇති
එපා අල්ලන්න කවුරුවත්
ඒක විතරක් තියා යන්න
මගෙ රෑ කුමාරි සිහිනය

ඉතින් සේරෝම එන්න
මගෙ සිහින තොටුපලට එන්න
සිහින ඔරුවක නැගලා සිහිනයෙන් සිහිනයට යන්න
කැමති සිහිනයක් තෝරලා අරගන්න
කිසිවෙකුට දෙන්න
නැත්තං නින්දේදි නරඹන්න

-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment