Saturday, September 30, 2017

වළාකුළු හැරයන්න නිල්අහස

වළාකුළු හැරයන්න නිල්අහස
තනිකරම හිස්කම
පමණක්ම ඉතිරිකර
වැහිලිහිණියෙකුට
හුදකලාවේ තනිවෙන්න
රික්තයේ තටු සලා පියඹන්න
වළාකුළු හැරයන්න නිල්අහස

ගිණි පිඹින හිරු ලඟට ලංවෙන්න
ගිනියම්ම දැල්ලකට පිච්චිලා අළුවෙන්න
අනන්තය තෙක් ඔහෙ පියඹන්න
වළාකුළු හැරයන්න නිල් අහස

හද පැලී මියයන්න
ඉස්සරින් රික්තයට ලංවෙන්න ඉඩදෙන්න
හැඟීමක් දැනීමක් කිසිදෙයක් නැති
හිස්කමට හැකිවේවි සැනසීම වත් දෙන්න
ඉඩදෙන්න වළාකුළු
හැරයන්න නිල්අහස
රික්තයේ තටුසලා පියඹන්න
තනිවෙච්ච වැහිළිහිණියෙකුට
හුදකලාවේ තනිවෙන්න.

-සුනෙත් වෙඩිවර්ධන-

Monday, September 25, 2017

මන් දැක්කා ඒක

මන් දැක්කා ඒක
මේ ලෝකේ මන් දැක්ක
ලස්සනම මූණ
මේ ලෝකේ තියෙන
විශාලම හදවත
මිනිහෙක්ට ලැබෙන
ලොව ලොකුම සෙනෙහස.
මන් දැක්කා ඒක
මට පෙනුනා ඒක

මන් දැක්කා ඒක
හිනා වෙන ඒ ඇස් දෙක
කිසිදිනක ඉවරයක් වෙන්නෙ නැති දන්සල
තරුණයෙක් නොවුනත් තරුණ ඒ හදවත
ඇති දෙයක් නැති වුනත් සතුටු වෙන මිනිහව

මැවි මැවී පෙනුනා

මන් දැක්කා ඒක
හදමඩල පායපු
අම්මගේ මූණ

මන් දැක්කා ඒක
හඳවගේ දිලිසෙන
තාත්තගේ මූණ

මගේ හිත හිනාවෙන අද වගේ දවසක
මන් දැක්කා ඒක

-සුනෙත් වෙඩිවර්ධන-

Wednesday, September 20, 2017

නෙත් කවන එක් අදුරු මතකයක්

ගෙවා ආ මග ගව් ගනන්  දුර
මතක සලකුණු අතර හිරවුන
එකම එක මතකයක් පමණක්
හිතට කරදර කරනවා
නහරවල ලේ කැටි ගැහී
පිට කෙරෙන දිගු සුසුමන් මතින්
දුක් විදින පෙනහළු හිස් වෙමින්
හිත නතර වුණ සේ දැනෙනවා
කුණාටුවකට මඟ කියන
කළු වලාකුළු පොර කමින්
පිටකරන හඬ මැද සැඩ වෙමින්
දළ රළ නගන
මහමුහුද ඇස් මත මැවෙනවා
නිහඬ කම හිස් කමින් ගිලගත්
නිහඬ සිතුවිලි මනස බිලිගත්
මොහොතකදි හිත මැරෙනවා

නින්දකට අත වනන ඇහි පිය
අඩවන්ව කල් කිරනවා
මතකයට ඉඩ ලැබෙන හිත මත
සිහිනයට දොර ඇරෙනවා
සිහින අතරේ සැරි සරන හිත
සිහින මාලිග තනනවා
සිහින දැකලම රිදෙන ඇස් අග
කදුලු පියගැට තනනවා

නියං සායෙට ඉරිතැලී ගිය
දිය සීදී ගිය ගස් මැරී ගිය
පොලව මත නිරුවත්ව
ගිණි පිඹින රිවි රැසින්
පිලිස්සී මියයන්න හිතෙනවා
මතක පොත මත කළු අදුරු පිටුවක
පැහැදිලිව අදුරින්ම ලියවුන
දුක හිතෙන මතකයක්
හැමදාම හැම මොහොතකම
හිස් පිටුව පමණක් ඉතිරිවෙන තුරු
මතක මනසින් මකනවා
ආයෙමත් කිසිවෙක් විසින්
මතක පොත් පිටු පෙරලමින්
හිස් වෙච්ච පිටුවක් පුරා
මැකූ මතකය ලියනවා
ආයෙමත් හිත මැරෙනවා.

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, September 19, 2017

නුඹ

මුල් මැරුණු මල් හැලුනු
දිරාගිය මල් ගහකි
එකම එක කොලයක් අහම්බෙන් ඉතිරිවුනු
එයට අපි ආදරේ යැයි නම තියමු.

මඟ හැරුනු අත හැරුනු
සින්තටික් සිහිනයකි
හදවතේ කොනක හැමදාම තිබුනු
කිසි දිනක නරඹන්න නොලැබුනු
ඒකටත් ආදරේ යැයි කියමු

දඟකැවෙන කැරකැවෙන
බඹරයකි රෝදයකි
යළි යළිත් එකම තැන හිරවුනු
අහිමිකම පමණක්ම හිමිවුණු
එයට අපි ජීවිතේ යැයි කියමු

ආදරේ නැතුව ආදරේ එක්ක
ගෙවීයන ජීවිතේ
වරහනක් තුළ තිබෙන
අහිංසක සතුට
එයට මම නුඹ යැයි කියමි

-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, September 17, 2017

ලැට් එකේ බෙල්ලෙක්

ලැට් එකේ බෙල්ලෙක්
දාර ගොළු බෙල්ලෙක්

"බාත් රූම්"
"වොෂ් රූම්"
"කොමඩ්"
පොෂ් එවුන් යන තැන
මන් යන්නේ නානකාමරේ
ඇතුලේ තියෙන ලැට් එකට
සිංහලෙන් "වැසිකිලිය"

දැන් තියෙන ප්‍රශ්නේ
“ගොළු බෙල්ලා“ කොහොමද ආවේ

අම්මා හැමදාම
හෝදනවා පොලව
ටයිල් කැට දිලිසෙනවා
ලයිසෝල් හින්දම
සැම්පො බෝතල් බදු අරන් සින්ක් එක
බිත්තියේ ටැප් එක
තමයි හැමදේටම

“ ප්ලෂර් එක “
සිංහලෙන් කියන නම දන්නේ නෑ මම
ඒකේ පැත්තෙන් එල්ලෙනවා ලනුවක්
ඒක ඇද්දාහම හේදෙනවා ලැට් කට
ගොළු බෙල්ලා ඉන්නේ
ඒකෙන් වතුර යන බටේ උඩ
දියසෙවල කාලම ලොකු වෙලා හොදටම
තඩි ගොළු බෙල්ලෙක්
සර්පිලාකාර ඔළුවක්
සෙවල පිරිච්ච ඇඟක්
හැම ගොළු බෙල්ලටම
තියෙන ජාතියේ
ටිකක් ලොකු කටුවක්
ඔව් ඉතින් ඌත් ගොළු බෙල්ලෙක්

ඕක දැක්කහම
දුවන් ඇවිදින් ගෙට
කෑගහලා කිව්වා
"අම්මා"  අපේ ලැට් එකේ “බෙල්ලෙක්“
“මොකද මෝඩයෝ කෑ ගහන්නේ “
මන් ආසම වචන සැට් එක

අම්මා වෙන කතාවක
බෙල්ලා ඔහෙ හිටියා තව
පහුවෙනිදා උදයෙම බෙල්ලා හිටියා බිම
ඇගිලි දෙකකින් කටුව අල්ලන්
ගිහින් දැම්මා මිරිස් පාත්තිය පැත්තට
දැන් එතන තවත් ගොළු බෙල්ලෙක්
ඈතින් ඇහෙනවා

"මොකක්ද මෝඩයෝ ඒ කරපු වැඩේ.."
අවුලක් නෑනේ
මොකද දැන් නෑ
අපේ ලැට් එකේ බෙල්ලෙක්
හැබැයි
මිරිස් පාත්තියෙ තවත් ගොළු බෙල්ලෙක්

-සුනෙත් වෙඩිවර්ධන-

Thursday, September 14, 2017

ගෑණු නේ


රන්වන් රහැටි කෙහෙරැලි
මන් මත් කෙරෙන හසරුලි
වල් මත් කෙරෙන හැසිරිලි
දනිමි මම ගැහැනුන්ගේ සිතුවිලි

ගාගෙන පාන් කෑහිකි
බටර් පෙට්ටිය එන හැටි
නොදත් එවුන්ගේ ගෙදර ගොම් මැටි
ගාලා ඉදිකල බවක් පෙන්නති

ඉඟි බිගි පාලා මුව මදහාස පෙන්වාලා
දස රඟපාලා පැණී ගී කොට මුමුනාලා
ඇඟ අත ගාලා සිතුවිලි මන පුරවාලා
වැඩ කරගන්නෙ උන් පිරිමින් රවටාලා

උන් ලග තියෙන කැටයම් ඇම්බැක්කෙත් නෑ
රන් රස පාන තරමට රොන් ඇත්තෙත් නෑ
රඟපෑවට කොයිතරමක් රැවටෙන් නෑ
එලියට පේන ලස්සන ඇග ඇතුලේ නෑ

රෙදි උස්සාගෙන එන හැටි
පේනවා ඉතින් මැවි මැවි
ඇත්තට ඉතින් මේ ගෑනුන්ගේ හැටි
කේන්ති ගන්නේ ඇයි ඉතින් ඔය හැටි

-සුනෙත් වෙඩිවර්ධන-

පුදුම පෙමක්

හරි පුදුමෙකි
හිතක හිතකි
ඒ හිත මත
පුදුම පෙමකි

අයිතිත් නැති
නැත්තෙත් නැති
ඇයටත් නැති
මටත් නොමැති
පුදුම පෙමකි

කැමතිත් නැති
අකමැති නැති
ඇගේ හිත නම්
මාර හිතකි

විටෙක රවති
යලි ඔරවති
ඉඟිත් කරති
තරහත් වෙති
මේක මාර පුදුම පෙමකි
අහෝ
දුකකි
ඉරකි
තිතකි
කළ කරුමෙක තරම නොදනි
ඇය තව මට පෙම දෙන්නැති

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, September 12, 2017

ඬිගිරි ඩිගා


ඬිගිරි ඩිගා
ඇය අගනා
ඩිගිරි ඬිගා
මටම හිනා

හොරකම් කල
ඇගෙ වදනා
ඬිගිරි ඬිගා
බැනුම් තමා

ඩිංගි ඩිගිරි ඩිගිරි ඩිගා
ඩං කුටු කුටු  ඩිගිරි ඩිගා
ඩිගිරි ඩිගිරි ඩිගිරි ඩිගා
ඩිං ගිරි ගිරි ඩිගිරි ඩිගා

රිදුනු වරෙක හිත විටෙකා
කියන වදන ඩිගිරි ඩිගා
හිතට මනා පුදුම හිනා
දැකපු ගමන් ඩිගිරි ඩිගා

ඩිංගි ඩිංගි ඩිගිරි ඩිගා
ඩිං ඩිං ඩිං ඩිගිරි ඩිගා
ඩිංකි ඩිංකි ඩිගිරි ඩිගා
ඩිංගිරි ඩිංගිරි ඩි ඩි ගා

-සුනෙත් වෙඩිවර්ධන- @ ලමාමානසික ලෙවල්

Monday, September 11, 2017

මං මුඩුක්කුවෙ බල්ලෙක්

මං මුඩුක්කුවෙ බල්ලෙක්
සරලවම
ගෙඳ ගැහුණු පොලවේ
ගඳ ගහන
කුණු වෙච්ච නිල් පාට
මං මුඩුක්කුවෙ බල්ලෙක්

මවිල් කදුලක් ඇගේ නැති
මැක්කෙකුට බොන්න බැරි
කුණු වෙච්ච ලේ ඇති
ඇට ගැහුනු කඳක් ඇති
රැලි ගැහුණු වෘෂණ ඇති
නැට්ට නැති
මං මුඩුක්කුවෙ බල්ලෙක්

දුහුවිල්ල පොරෝගෙන පාරේම නිදියන
බඩගින්න හින්දම නිතොරෝම ගොරවන
පිපාසෙට ඇදුනු දිව හතර අත කැරකෙන
හතර කඩ විසිරුන හතර පා වෙව්ලන

මං මුඩුක්කුවෙ බල්ලෙක්

බලුකමේ පාපයට
ඉවර නැති මුත්‍ර බර
පිට කරන වාරයක්
වාරයක් ගානෙම
ගල්වලින් තැලුම් කන
කාටවත් අයිති නැති
ඔපපාතික තිරිසනෙක්
මුඩුක්කුවෙ බල්ලෙක්

කොල්ලගෙයි බල්ලගෙයි
කිසිම වෙනසක් නැති
බල්ලො ගානට කොල්ලෝ
වැටිලා කුඩු ගහන හැටි
බැල්ලියෝ වගේ කෙල්ලො
බඩ කෙරුව එකෙක් නැති
දුක රකින ලෑලි යට
මැරෙන ජීවිත නොමැති
මේක පර මුඩුක්කුවක්

මං මුඩුක්කුවෙ බල්ලෙක්

-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, September 10, 2017

තේරුණාද නෑ නේ !

කජ්ජ ගහ උඩ
පුහුලමක් බිම
එහෙම කොහොමද
වෙන්නේ කියපන්

හුජ්ජ කොල්ලොත්
පඩ දාන කොට
කජ්ජ පුහුලම
වෙලා දැන් බන්

පට්ට මීකිරි
එක්ක පොල්පැණි
මිසක් මී පැණි හරියන්නේ නෑ
දොට්ට යන්නට
වැසිකිලිය මිස
කැලෑ තිබුනත් ගැලපෙන්නේ නෑ

ලැජ්ජ නැති කොට
හෙළුව පෙනුනත්
හෙලුවොන්ට
ගානක්ම නෑ එය

තෙලිජ්ජත් නැත
මතට බොන්නට
කරිං ඥං වගෙ
වෙලා ඔළුවම

-සුනෙත් වෙඩිවර්ධන-

Friday, September 8, 2017

පිංකි


වතුසුද්ද මල් ගහේ මල් තව පෙපෙනවා නුඹේ සුවඳ අරගෙන
අම්මා ඒ මල් බුදුන් පුදකොට වදිනවා හැමදාම හවසට
නුඹ වගේමයි තාම පුංචියි ගහත් එහි එන මලුත් සේරම
ඔය තරම් ආදර හිතක් ගහ යටින් සැතපී ඉන්න හින්දම

රැ වුනා ඒ දිනේ හොදටම වැඩ ගොඩක් මට තිබුනු හින්දම
අහස සූරා මොරදිදි වැසි වැස්සා මතකයි එදා හොදටම
සඳත් පායා නොතිබුනා කළු වරයි වෙනිදට වැඩිය මුළු ගම
රෑ දෙකයි මම ගෙදර එනකොට ඒ වෙද්දි නුඹ ගිහින් යන්නම

දෑස් කොන් බිඳ දමා බේරි වැටී තිබුනා කඳුළු පිනි කැට
හුස්ම නොවැටෙන හින්දමද හරි සීතලක් තිබුනා නුඹේ ලඟ
තාත්තත් හඩ නගා හැඩුවම මමත් නාඩා ඉන්නේ කොහොමද
කෙසේ පොලවට පස්කරන්නද ඒ තරම් ආදර හිතක් මම

ඉදින් නුඹ දැන් ගිහින් තුන් වසරකුත් ගෙවිලා ගිහින් නොදැනිම
උතුම් පින් ඇති කළා වු නූඹ තිරිසනෙක් නොම වෙයන් ආයෙම
පැතූ පැතුමන් ඉටුවෙලා ඇති පින් දුන්නා හැමදාම නුඹටම
තවත් හිතකට සෙනේ දීපන් පින්කි තාමත් ආදරෙයි මම

-සුනෙත් වෙඩිවර්ධන-

Wednesday, September 6, 2017

ආදරෙයි මන් බින්දුවක්

 ආදරෙයි මන් බින්දුවක් 
ඒකෙනුත් අඩුකරලා එක බින්දුවක් 
මදි කියලා හිතෙනවානම් 
එකතු කරන්නම් ඉතින් 
වැඩිය නෑ ආදරේ එක බින්දුවක් 
තවත් මදිනම් වැඩිකරන්නම් 
සේරෝම තව බින්දුවක් 
අන්තිමේ දී ඉරක් ඇදලා 
බෙදන්නම් මන් බින්දුවෙන් 
ආදරෙයි මන් ඒ තරම් 

 -සුනෙත් වෙඩිවර්ධන- 

-ආදරේ කියන්නේ නොහික්මුණු කලාවක්-

Saturday, September 2, 2017

අවාරයේ ආ වසන්තය


හද්දා දවාලේ දිග ඇරන් ඇස් දෙකම
නෙත් තෙමන හීනයක හොදටෝම නිදි මම
හිත් කොනක ඇතිවෙච්ච සෙනෙහසක් හින්දම
සින්තටික් හීන හිත දකිනවා තිස්සෙම

ඉඩෝරෙට ඉරි තැලුනු රළු පොළව තව රත් විය
වියලිච්ච මැලවිච්ච පඳුරු ගිනියම් විය
කොවුල් හඩ ඇසුනු  දින වකවානු වැරදිය
ආවාරයෙ ආ වසන්තය එක දවසකින් නිමා විය

පරවෙච් මල් හැලුනු වියලිච්ච මල් ගොමුව
කොළ හැලුණු අතු පිරුනු දිරා ගිය රුක් ගොමුව
දිය හිදුනු ගල් පිරුනු පොකුණ ගංදිය නැතුව
වසන්තය නිමා වුනු ලකුණු මා සිත් පැතුව

දුක මිසම සැප නැතුව ගෙවුන දිගු අතීතය
හැමදාම පැතුව නුඹ ලග ඉන්න වසන්තය
ගෙවෙන මේ කල්පයෙත් ලංවෙන්න පමා විය
අවාරයෙ ආ වසන්තය එක දවසකින් නිමා විය

-සුනෙත් වෙඩිවර්ධන-