Wednesday, September 20, 2017

නෙත් කවන එක් අදුරු මතකයක්

ගෙවා ආ මග ගව් ගනන්  දුර
මතක සලකුණු අතර හිරවුන
එකම එක මතකයක් පමණක්
හිතට කරදර කරනවා
නහරවල ලේ කැටි ගැහී
පිට කෙරෙන දිගු සුසුමන් මතින්
දුක් විදින පෙනහළු හිස් වෙමින්
හිත නතර වුණ සේ දැනෙනවා
කුණාටුවකට මඟ කියන
කළු වලාකුළු පොර කමින්
පිටකරන හඬ මැද සැඩ වෙමින්
දළ රළ නගන
මහමුහුද ඇස් මත මැවෙනවා
නිහඬ කම හිස් කමින් ගිලගත්
නිහඬ සිතුවිලි මනස බිලිගත්
මොහොතකදි හිත මැරෙනවා

නින්දකට අත වනන ඇහි පිය
අඩවන්ව කල් කිරනවා
මතකයට ඉඩ ලැබෙන හිත මත
සිහිනයට දොර ඇරෙනවා
සිහින අතරේ සැරි සරන හිත
සිහින මාලිග තනනවා
සිහින දැකලම රිදෙන ඇස් අග
කදුලු පියගැට තනනවා

නියං සායෙට ඉරිතැලී ගිය
දිය සීදී ගිය ගස් මැරී ගිය
පොලව මත නිරුවත්ව
ගිණි පිඹින රිවි රැසින්
පිලිස්සී මියයන්න හිතෙනවා
මතක පොත මත කළු අදුරු පිටුවක
පැහැදිලිව අදුරින්ම ලියවුන
දුක හිතෙන මතකයක්
හැමදාම හැම මොහොතකම
හිස් පිටුව පමණක් ඉතිරිවෙන තුරු
මතක මනසින් මකනවා
ආයෙමත් කිසිවෙක් විසින්
මතක පොත් පිටු පෙරලමින්
හිස් වෙච්ච පිටුවක් පුරා
මැකූ මතකය ලියනවා
ආයෙමත් හිත මැරෙනවා.

-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment